හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label හමුදාවේ කතා. Show all posts
Showing posts with label හමුදාවේ කතා. Show all posts

03 May 2016

පයින් යනෙන සෙබළුන් හට - යුද රථයක් සොයා දෙන්න!

   බ්ලොග් ලිපියකට මාතෘකාවක් තෝරා ගැනීමත් ටිකක් අමාරු වැඩක්. අද  ලියන දේවල් ගැන කල්පනා කරමින් ඉඳිද්දී, මට මතක්වුනේ, අකාලයේ වියෝවූ, ජනප්‍රිය නිලි රෙබෙකා නිර්මලී රඟපෑ, 'වෙද හාමිනේ' ටෙලි නාට්‍යයේ,  ගායිකා ප්‍රදීපා ධර්මදාස ගැයූ, 'දූවිල්ලෙන් සැදුන ලියේ' ගීතයයි. ඒ ඇසුරෙන් තමා, මම මාතෘකාව යෙදුවේ, 'පයින් යනෙන සෙබළුන් හට යුද රථයක් සොයා දෙන්න' කියලා. මොකද අර ගීතයේ කියනවා නේද, 'වෙණ වයනා මිනිස්සුන්ට පන් පැදුරක් එලා දෙන්න' කියලා. ඒ කියන්නේ, වෙහෙස වන අයට, සහනයක් සලස්වන්න කියන එකනේ. ඉතින්, වෙහෙස වෙන සෙබළුන්ට, පන් පැදුරක් එලලා දෙනවද, නැත්නම් යුද්ධ රථයක් හොයලා දෙනවද කියලා තමයි, අද කතාකරන්න යන්නේ. 

   ඔබ යුද හමුදාව ගැන විවිධ තොරතුරු අසා තිබුනත්, අද මා ඔබ සමග සාකච්ඡා කරන්න යන කරුණ, බොහෝවිට මීට පෙර අසා නැතුව ඇති කියා, මට හිතෙනවා. අද මා ඔබ සමග කතාකරන්නේ, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව කියන්නේ මොකක්ද, කියන එක ගැනයි. 

   ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ, චතුරංගනී සේනාව කියන එක ගැන. චතුරංගනී සේනාව කියන්නේ, ඇත්, අස්, රිය, පාබල, යන සතර ආකාරයේ හමුදා වලට බවත්, ඇත් හමුදාව, ඇතුන්පිට නැගී යුද පිටියට ගොස්, සටන් වැදුන බවත්, ඇතුන් ලවා, සතුරු බලකොටු බිත්ති බිඳ දැමූ බවත්, ඔබ අසා ඇති. අස් හමුදාව හෙවත් අසුන් පිටේ යන හමුදාව, වේගයෙන් සතුරන් වෙත කඩාපැන, අසුන් පිට සිටිමින්, සටන් කල බවත්, රිය හමුදාව, සතුන් විසින් අදින ලද රථ මගින්, යුද පිටිය වෙත භටපිරිස් රැගෙන ගිය බවත්, ඔබ අසා ඇති. 

   මේ ආකාරයට, පයින් ගමන් කරන හමුදාවට, යම් ප්‍රවාහන ශක්තියක්/බලයක් ලබාදීමෙන්, ඔවුන් යොදවා වේගවත් ප්‍රහාර එල්ල කළහැකි බවත්, යුද බිම වෙත සහ යුද බිම තුළ, පයින් ගමන් කිරීමට සිදුවන කාලය අඩු කරගත හැකි බවත්, ඈත අතීතයේ සිටම පිළිගත් සංකල්පයක් බව පෙනෙනවා. අද වනවිට එහි වඩාත් දියුණු අවස්ථාව, ලෝකය පුරා යුද හමුදාවන්හි ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ තමයි, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සංකල්පය. Mechanized Infantry Regiment = MIR  මෙය හමුදා කෙටි යෙදුමකින් හඳුන්වන්නේ, Mec Infantry යනුවෙන්. 

   ශ්‍රී ලංකා යුද හමුදාවේත්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් තිබෙනවා. වර්ෂ 2007 දී, අපේ හමුදාවට යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් ඇරඹීමේ පුරෝගාමියා වූයේ, වර්තමාන ෆීල්ඩ් මාර්ෂල්, එවකට ශ්‍රී ලංකා යුද හමුදාධිපති වූ, ලුතිතන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතායි. අවසන් මානුෂික මෙහෙයුමේදී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් විශාල මෙහෙයක් ඉටුවුණා. ශ්‍රී ලංකා යුද හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ, ලාංඡනය සහ ධජය පහත දක්වනවා. 




 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් කියන්නේ මොකක්ද? 

   සාමාන්‍යයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් ප්‍රධාන වශයෙන් හැදෙන්නේ, පාබල හමුදාව සහ සන්නාහ සන්නද්ධ බලකාය එක්වීමෙන්. මෙහිදී සන්නාහ සන්නද්ධ බලකායේ, විශේෂිත සන්නද්ධ රථවල නැගුන පාබල සෙබළුන්, කඩිනමින් යුද බිමට ගොස්, යුද බිමේදී එම රථවලින් බැස, එම රථ වල ආවරණය, වෙඩි බලය, ආධාර කරගනිමින්, සාමාන්‍ය පාබල සෙබල භූමිකාවේ යෙදෙනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ, සන්නද්ධ රථවලින් ගමන් කිරීම, ක්‍ෂණයකින් රථයට නැගීම සහ බැසීම, සන්නද්ධ රථ සතුරු ප්‍රහාර වලින් ආරක්ෂා කරගනිමින් සටන් කිරීම, අවශ්‍ය අවස්ථා වලදී, සන්නද්ධ රථ මගින්ද ප්‍රහාර එල්ල කිරීම, යන කරුණුයි. මේ සඳහා, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සාමාජිකයන්ට විශේෂ පුහුණුවක් ලැබෙනවා. 

   සාමාන්‍ය පාබල සෙබල සේනාවන්ට යුද භූමිය වෙත පිවිසීමේදී සතුරු සන්නද්ධ රථ සහ සතුරු යාන්ත්‍රික පාබල කණ්ඩායම් වලින් එල්ලවිය හැකි තර්ජනයට ප්‍රතිවිරෝධීව කටයුතු කිරීම, යාන්ත්‍රික පාබල භූමිකාවේ වැදගත් කොටසක්. සාමාන්‍යයෙන්, මේ පහත දැක්වෙන ක්‍රමයට තමයි, එක සන්නද්ධ රථයකට අදාළ යාන්ත්‍රික පාබල කණ්ඩායමක් සැකසෙන්නේ. මෙය, රටෙන් රටට වෙනස් වෙනවා. 


   ඉතින් මේ කණ්ඩායම කොහොමද සන්නද්ධ රථයක යන්නේ? නිකම් හිතුමතේට යන්න බැහැ. මේ බලන්න කොයිතරම් සංවිධානාත්මකවද යන්නේ කියලා. 



   ඒ ඒ අවස්ථාව අනුව රථය මත නැගී යන්නත්, රථය තුළ ගමන් කරන්නත් පුළුවන්. නියමිත අණ යටතේ ක්‍ෂණයකින් රථයෙන් බැස, සටනට එක්වෙනවා. 









   පහත දැක්වෙන වීඩියෝවේ තිබෙනවා, බ්‍රිතාන්‍ය යුද හමුදාවේ, යාන්ත්‍රික පාබල සොල්දාදුවන් පිරිසක්, යුද අභ්‍යාසයක යෙදෙන හැටි. එය නැරඹීමෙන්, ඔබට මනාව පැහැදිලිවනු ඇති, යාන්ත්‍රික පාබල හමුදාව සටන් කරන්නේ කුමන ආකාරයටද යන්න. 




   යාන්ත්‍රික පාබල හමුදා මුලින්ම පිහිටෙව්වේ කොයි කාලෙද? 

   අපේ රටේ නම්, 2007 දී කියලා, මම ඉහත සඳහන් කලානේ. නමුත් පළමුවැනි ලෝක යුද සමයේදී තමයි, මුලින්ම යාන්ත්‍රික පාබල සංකල්පය ක්‍රියාවට නැංවී තිබෙන්නේ.  මේ බලන්න, 1918 තරම් ඈත අතීතයේදී, යාන්ත්‍රික පාබල කටයුතු සඳහා යොදාගෙන ඇති, සන්නද්ධ රථයක ස්වරූපය. 



  මේ මොහොතේ මට තවත් වැදගත් කාරණයක් මතක්වුණා. සංග්‍රාමික අවශ්‍යතා සඳහා, පාබල හමුදා සෙබල කණ්ඩායම්, හමුදා ට්‍රක් රථ මගින්, තැන් තැන් වලට යවනවා. නමුත් ඔවුන් යාන්ත්‍රික පාබල කියන වර්ගීකරණයට වැටෙන්නේ නැහැ. ඔවුන් අයත්වන්නේ, 'මෝටර් ප්‍රවාහන පාබල කණ්ඩායම් - Motarised Infantry' යන වර්ගීකරණයටයි. 

අපේ යාන්ත්‍රික පාබල හමුදාව පාවිච්චි කරන සන්නද්ධ රථ මොනවද? 

   අපේ හමුදාව සෑහෙන සන්නද්ධ රථ වර්ග කීපයක්ම පාවිච්චි කරනවා. යුද්ධ ටැංකියක් මත වුනත්, සෙබල පිරිසක් ගෙනියන්න පුළුවන්. ලෝකයේ හැම තැනම, යුද්ධ ටැංකි නිකම් යවන්නේ නැහැ. ආරක්ෂාවට සෙබල කණ්ඩායමක් ඉන්නවා. අපිත් පහුගිය යුද්දෙදි එහෙම කළා. බලමුකො, අපිට යාන්ත්‍රික පාබල හමුදාවේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්, සටන්කාරී සන්නද්ධ රථ Armoured Fighting Vehicles = AFV මොනවද කියලා. 

   අපි පාවිච්චි කරන එක සන්නද්ධ රථ වර්ගයක් තමා, BMP යනුවෙන් හැඳින්වෙන, රුසියාවේ නිෂ්පාදිත, සන්නද්ධ රථ. BMP කියන්නේ, රුසියානු නමක්. Boevaya Mashina Pehoty (Боевая Машина Пехоты, "Infantry Combat Vehicle") පාබල සටන් රථය. මේ පහල තියෙන්නේ, BMP 1, 2, සහ 3 යන වර්ග තුන. මේ වර්ග තුනම, අපේ හමුදාව පාවිච්චි කරනවා. මේ කිසිදු රථයක, තාක්‍ෂණික විස්තර ඉදිරිපත් නොකරන්නේ, මේ ලිපිය, මහා දීර්ඝ ලිපියක් වීම වලක්වා ගන්නයි. 







   ඊළඟට තියෙන්නේ, සන්නද්ධ සටන් රථ හෙවත් Armoured Fighting Vehicle = AFV නමැති වර්ගීකරණයට වැටෙන රථ. මේ වර්ගයට අයත් මෝස්‌තර දෙකක රථ අපේ හමුදාව පාවිච්චි කරනවා. ඒ තමයි T 85 AFV සහ T 86 AFV






   අපේ හමුදාව මෙතනින් නවතින්නේ නැහැ. තවත් සන්නද්ධ රථ වර්ගයක් තිබෙනවා සන්නද්ධ සෙබල ප්‍රවාහන රථ හෙවත්, Armoured Personnel Carriers = APC යනුවෙන් හැඳින්වෙන. එම වර්ගීකරණයට අයත් මෝස්‌තර තුනක් අපි පාවිච්චි කරනවා. පහත දැක්වෙන්නේ ඒවා.






   ඉහත පින්තූරයේ BTR කියන එකත් රුසියානු නමක්. (бронетранспортер/Bronetransporter, = "Armoured Transporter") ඔබ දන්නවා නොවැ, රෝද හතරටම බලය යෙදූ වාහන. 4 x 4 වාහන. සමහර ඒවා නිපදවලා තියෙන්නේ, සෑමවිටම, රෝද හතරටම බලය යෙදෙන ආකාරයටනේ. මේ සන්නද්ධ රථයත්, ඒ වගේ. මෙහි රෝද අටටම, සෑමවිටම බලය යෙදී තිබෙනවා. ඒ කියන්නේ මෙය 8 x 8 රථයක්. 

   හොඳට මතක තියාගන්න, ඉහත පෙන්වා ඇති එකක්වත්, යුද්ධ ටැංකි නෙවෙයි. ප්‍රහාරක ශක්තිය තිබුනත්, ඒවා යුද්ධ ටැංකි (Main Battle Tank = MBT) කියන වර්ගීකරණයට අයත් වන්නේ නැහැ. මේවා BMP, BTR, AFV, APC, යන වර්ග පමණයි. 

ඉතින් ඔය යාන්ත්‍රික පාබල හමුදාව තනියම සටන් කරනවද යුද්ධයකදී?

   යාන්ත්‍රික පාබල හමුදාව, ගමරාලගේ වංගෙඩිය  වගේ, හැම එකටම යවන්නේ නැහැ. යුද්ධයකදී තියනවා, යුද්ධය කියවීම කියලා දෙයක්. (reading the battle) ඒ කියන්නේ, අපි මුහුණ දෙන යුද්ධය කෙබඳුද යන්න, යුද න්‍යායන් අනුව සිතා තේරුම් ගැනීමයි. අන්න ඒ අනුව තමයි, සේනාංකාධිපතිවරුන් තීරණය කරන්නේ, යුද හමුදාවේ කුමන කොටස/කොටස් ද, සටනට යොමුකල යුත්තේ කියා. යාන්ත්‍රික පාබල හමුදාව සාමාන්‍ය පාබල හමුදාව සටන් කරන භූමියටම රිංගා සටන් කිරීම මෙන්ම, තමන්ට පමණක් සීමා කොට ලබාදෙන කාර්ය භාරයන් task ඉටුකිරීමද, එකසේ සිදුකරනවා. 

   මා හිතනවා, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ගැන මා කල මේ සරල විස්තරය, ඔබේ දැනුමට යමක් එකතු කරන්නට සමත්වනු ඇතැයි කියා. ඉතා සංකීර්ණ කරුණු, හැකිතරම් සරලව ඔබවෙත ගෙන ඒමයි, මගේ පරමාර්ථය වුයේ. තවත් මෙවැනි ලිපියකින් ඉදිරියේදී හමුවෙමු.
  
2016 මැයි මස 02 වැනි දින 2218 පැය

26 April 2016

සපෝට් එකට කොම්පැනියක්............................. Army Support Company

   සපෝට් එකක් ඕනෑකරණ වෙලාවල් අපේ ජීවිතයේ කොච්චර නම් එනවද? නමුත් බොහෝ වෙලාවට සපෝට් එකට බල්ලෙක් වත් නෑ නේද? ඔහොම තමයි අනේ ජීවිතේ හැටි. අපිට ඕනේ වෙලාවට සපෝට් එකට බල්ලෙක්වත් නැතිවුනාට මොකද, ඕනේ නැති වෙලාවට නම් බල්ලෝ රංචු ගණන් ඉන්නවා, සපෝට් එකට. ගමේ විදානේගේ බල්ලා මැරුණම, අහල ගම් හතක හිටිය, හැම බල්ලම ආවලු මළගෙදර. නමුත් විදානේ මැරිච්ච දවසේ, එක බල්ලෙක්වත් ආවේ නැතිලු. (නෑ නෑ, ඒ විදනයා ගැන නෙවෙයි කිව්වේ. ඕකට බල්ලෙක් තියා බලු කුක්කෙක් වත් නෑ) දැන් ඉතින් මේ වටින් ගොඩින් එන්නේ මොකටද කියලා දන්නවද? අපි අද කතාකරමු, යුද හමුදාවක තිබෙන, ආධාරක කණ්ඩායම හෙවත්, Support Company (හමුදා භාෂාවෙන් කෙටි යෙදුම Sp Coy) කියන එක ගැන. 

යුද හමුදාවක කොම්පැනි කියලා ජාතියක් තියනවද? 

ඔන්න ඔන්න ඔන්න, මහත්තයෝ, අම්මපා මේ අපේ මිනිස්සුන්ට, මේ තරම් ඉක්මනට, අතීතය අමතක වෙන්නේ, පූරුවේ කරුමෙකටද මන්දා. ඇයි අප්පොච්චියේ, යුද හමුදාවේ පුංචිම කෑල්ලේ ඉඳලා, ලොකුම කෑල්ල දක්වා කොටස් ටික, කියලා දුන්නා අමතකද? අමතක නම් වහාම ගිහින් බලලා එනවා හොඳයි. ඒක අමතක නම්, මේ කතාව ඉස්සරහට ගෙනියන්න අමාරුයි. 

සපෝට් කොම්පැනිය කියන්නේ යුද්ධ කරන කොම්පැනියක්ද?

මේ මොනවා අහනවද? යුද්ධ හමුදාවේ හැම අංශයක්ම, කුමක් හෝ ආකාරයකින් යුද්ධයට සම්බන්ධ වෙනවා. ඒ අතරින්, මේ සපෝට් කොම්පැනියට ලැබෙන්නේ, විශාල වැදගත් කමක්. කෙටියෙන් කියනවානම් මෙහෙමයි. පාබල හමුදා බලඇණියක (Infantry Battalion)  තිබෙන කණ්ඩායම් (Company) අතරින්, විශාල වගකීමක් පැවරෙන කණ්ඩායමක් තමා, ආධාරක කණ්ඩායම (Support Company) කියන්නේ. 

මොකක්ද ඉතින් සපෝට් කොම්පැනියෙන් කරන්නේ?

දන්නවනේ, පාබල ඒකකයකට උරුමවූ කාර්ය භාරය තමයි, පා ගමනින් සතුරා සොයාගෙන ගොස්, සතුරා සමග සටන්කර, ඔහුව විනාශ කිරීම, යටත් කරගැනීම, ඉදිරි සතුරු ක්‍රියා මර්දනය කිරීම, සතුරු බලප්‍රදේශ අපේ යටතට අත්පත් කරගැනීම. ඉතින් මෙන්න මේ ටික කරන්න ගියාම, සාමාන්‍ය පාබල කණ්ඩායමක ශක්තිය මදිවෙනවා. මේ සඳහා ආධාරයට තවත් අය ඕනෑ වෙනවා. අන්න ඒ සහයෝගය හෙවත්, අතිරේක වෙඩි බලය තමයි, සපෝට් කොම්පැනියෙන් දෙන්නේ. ඒ කියන්නේ සපෝට් කොම්පැනියේ තිබෙන, බලඇණි ආධාරක අවි Battalion Support Weapons  බර මැෂින් තුවක්කු, මෝටාර්, RCL, RPG, යුද ටැංකි නාශක සැහැල්ලු අවි, යුද ටැංකි/ගුවන් යානා නාශක මිසයිල්, වැනි ආයුධ වලින්, යුද පිටියේ සටන් කරන පාබල සෙබළුන්ට අවශ්‍ය  සහාය දීම, ඒ විතරක් නෙවෙයි අවශ්‍ය නම් සැහැල්ලු සන්නද්ධ රථ යොදවා සතුරාගේ කෙඉයාකාරකම් පිළිබඳ තොරතුරු සෙවීම, ජල තරණය, විදුලිබල සැපයුම් ස්ථාන වැනි මර්මස්ථාන, පුපුරවා විනාශ කිරීමට දක්ෂ 'ප්‍රහාරක පුරෝගාමී කණ්ඩායම්, Assault Pioneer Teams'  යොදවා, සතුරාගේ ක්‍රියාකාරකම් අවුල් කිරීම ආදිය තමයි කරන්නේ. 

බලන්න යුද ටැංකි නාශක මිසයිලයක් ක්‍රියා කරන හැටි.







සපෝට් කොම්පැනි කාරයෝ, සාමාන්‍ය හමුදා කොම්පැනියක ඉන්න අයට වඩා වැඩ කාරයොද? 

ඒකට ඉතින්, ඔව්/නෑ කියන උත්තර දෙකම දෙන්න පුළුවන්. ඒ මෙහෙමයි. සපෝට් කොම්පැනියක තියනවා, ඒ ඒ අවි වර්ගයට අදාළව සැකසූ  ඛණ්ඩ platoon, ඒ එක් එක් ඛණ්ඩය, ඒ ඒ අවි වර්ගය ගැන විශේෂඥ පුහුණුවක් හා දැනුමක් තියන සොල්දාදුවන්ගෙන් සමන්විතයි. ඒවා මෙන්න මෙහෙම නම් කරලා තියනවා. මෝටාර් ප්ලැටූන්, මැෂින් ගන් ප්ලැටූන්, RCL ප්ලැටූන්, RPG ප්ලැටූන්, ආදී වසයෙන්. මේ ප්ලැටූන් වල ඉන්න අය ආධාරක වෙඩි බලය දීම ගැන විශේෂඥයන් වුනාට, පෙරමුණේ සටන් කිරීමේදී, අදක්ෂ වෙන්න පුළුවන්. සාමාන්‍ය සොල්දාදුවෙක් ඒකෙ අනික් පැත්ත වෙන්න පුළුවන්. මේ ඛණ්ඩ වලට අදාළ වෙඩි බලය ඉදිරි යුද භූමියට අවශ්‍ය ලබාදෙනවා, යුද පිටියෙන් එන ඉල්ලීම් වලට අනුව. ඒ වගේම, ප්‍රහාරක සැලැස්මක්‌ සැකසීමේදී, කල්තබා තීරණය කරනවා, සපෝට් කොම්පැනිය යොදවන්නේ කොහොමද කියා. මෝටාර් වෙඩි සහාය දෙන්න, මෝටාර් විදිනයන් යුද පිටියේ ඉදිරියටම ගෙනියන්න අවශ්‍ය නැහැ. මිලිමීටර් 81 මෝටාරයකින් කි.මී.5 ක් පමණ දුරට බෝම්බයක් යවන්න පුළුවන්. 

මේ බලන්න මිමී 81 මෝටාරයකින් වෙඩි තියන හැටි.





අපේ හමුදාවේත් සපෝට් කොම්පැනි තියනවද?


අපොයි ඔව්. අපේ හමුදාවේ, සෑම පාබල එකකයකම පාහේ, ආධාරක කණ්ඩායමක් හෙවත් සපෝට් කොම්පැනියක් තියනවා. ඒ සඳහා අණ දෙන්නට තෝරාගන්නේ, බලඇණි ආධාරක අවි පාඨමාලාව සමත්වූ කපිතන්/මේජර් නිලයේ නිළධාරියෙක්. බලඇණි ආධාරක පාඨමාලාව නිලධාරීන්ට පමණක් නොවෙයි, කෝප්‍රල්, සැරයන්, සැරයන් මෙජර්, වැනි නිලවල අයටත් ලබාදෙනවා. මේවා සෑහෙන අතීතයේ සිට අපේ හමුදාවේ තියනවා. 

එතකොට බ්‍රිගේඩ් එකක්, එහෙමත් නැත්නම් සේනාංකයක් වගේ මහා විශාල හමුදාවක් සටන් කරද්දී, මේ වගේ සපෝට් කොම්පැනි ගොඩක් ඕනේ වෙනවද? 

ඇත්තටම ඕනේ වෙනවා තමයි. නමුත් ඒ වෙලාවට මීට වඩා සංවිධානාත්මක විදිහට ක්‍රියා කරනවා. එහිදී කරන්නේ බලඇණියක් තරම් විශාල, ඒ කියන්නේ හාරපන්සීයක් විතර හෝ ඊටත් වැඩි සෙබල පිරිසක් ඉන්න, සංග්‍රාමික බළඇණියක් හෙවත් Battle Group එකක් හදාගැනීමයි. මෙහිදී ප්‍රධාන වශයෙන්, පාබල, සන්නාහ සන්නද්ධ, කාලතුවක්කු, සංඥා, වැනි රෙජිමේන්තු වලින් තෝරාගත් විශේෂ පුහුණුවක් ලබාදුන් අයයි යොදවාගන්නේ. 

ඒගොල්ලොත් පයින් ගිහිල්ලද යුද්ධ කරන්නේ 

අවශ්‍යතාවය අනුව තමයි එය තීරණය වෙන්නේ. විශේෂ වාහන වලින් යන්නත් පුළුවන්. එහෙම වාහන වලින් ගිහින් යුද්ධ කරන පිරිසකුත් ඉන්නවා. ඉදිරි ලිපියකදී ඒ ගැන සාකච්ඡා කරමු. 


2016 අප්‍රේල් මස 25 වැනි දින 2246 පැය 

07 April 2016

අපි ආමි ද? අපි ආවෙමු ද?



ශ්‍රී ලාංකික පුරවැසි විවිධ වෘත්තිකයන්, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බඳවාගෙන, අධිකාරියට පත්කිරීමේ වැඩපිළිවෙලක්, දැනට ක්‍රියාත්මක වෙනවා. මෙහි පළමු අදියර, මෑතකදී නිමවූ බව, වෙබ් අඩවි වාර්තාවකින් දැනගන්නට ලැබුණා. මේ පහත දක්වා තිබෙන්නේ, එම වාර්තාවයි. මේ වාර්තාවේ සඳහන් වන්නේ, මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන තවත් රටක් වන්නේ, සිංගප්පූරුව බවයි. නමුත් මා දන්නා තරමින්, විවිධ වෘත්තිකයන් හමුදා සේවය සඳහා යොදාගන්නා රටවල් අතරින්, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, වැනි රටවල්ද ප්‍රමුඛස්ථානයක් ගන්නවා. උදාහරණයක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත පේට්‍රියට් මිසයිල් ක්‍රියාත්මක කරවන කණ්ඩායම් වල  වැඩි දෙනෙක්, ස්වේච්ඡා හමුදා නිලධාරීන්.




මෙවැනි වැඩපිළිවෙලක් මගින් අපේ රටට ගතහැකි ඵල ප්‍රයෝජන මොනවාද? 

   ඇත්තෙන්ම, මෙවැනි වැඩපිළිවෙලක් මගින්, අපට ලබාගතහැකි විපුල ඵල ප්‍රයෝජන අතර මුල්ම තැන ගන්නේ, කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කරගැනීම, කර්යෝත්පාදක ශක්තිය වැඩිදියුණු කරගැනීම, සහ යම් කාර්යභාරයකින් සාර්ථක ප්‍රතිඵල උත්පාදනය කිරීමෙහි ලා විශාල සේවයක් ඉටුවීමයි. 

එහෙනම් ඉතින් මුළු ලෝකෙම තියන උසස් කළමනාකරණ පාඨමාලා ඔක්කොම නවත්තලා හැම මිනිහවම හමුදාවට බැන්දුවානම් ඉවරයිනේ

නැහැ නැහැ,  ඔබ ඔය හිතන්නේ මහදැනමුත්තා ක්‍රමයට. මුලින් කිව්වා වගේ, මේ ක්‍රමය ලංකාවේ විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ. ලෝකයේ තවත් රටවලත්, මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මෙයින් අදහස් කරන්නේ නැහැ, කළමනාකරණය පිලිබඳ ඉහලම පුහුණුව මෙයයි කියා. ඕනෙම ඉලක්කයකට යන්න, ක්‍රම එකකට වඩා තිබෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? ඒ නිසා විවිධ මට්ටමේ කාර්යභාරයන් ඉටුකරන, විවිධ අධ්‍යාපනික සහ සමාජයීය තලවලින් පැමිණි පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී, මෙවැනි හමුදා පුහුණුවක් තුලින් ලබාගන්න යම් යම් පරිපාලන ක්‍රමවේදයන් පිලිබඳ දැනුම, සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයන්ට වඩා ප්‍රතිඵලදායී සහ කාර්යක්‍ෂමව යොදාගතහැකි අවස්ථා තිබෙනවා. 

එහෙනම් ඔය ඉස්කෝලවල ප්‍රින්සිපල්ලාට දුන්න හමුදා තනතුරු වලින් මේ වෙනකොට පාසල් විනය අන්තිම ඉහලට ගෙනත් තියෙන්න එපායැ. කෝ එහෙම වෙලා නැහැනේ. 

අපොයි එතැනදී වුනේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ වැඩක් නේ. දේශපාලන හෙන්චයියලාට තමයි වැඩිපුර ඒ වගේ තනතුරු හම්බවුනේ. පුංචි පුහුණුවක් දීලා, එකපාර කර්නල් වගේ තනතුරක් දුන්නම, කටුස්සගේ කරේ රත්තරන් මාලයක් දැම්මා වගේ වෙනවා. යුද න්‍යාය පිලිබඳ කිසිම පුහුණුවක් නැහැ. හමුදා දැනුමක් නැහැ. කළමනාකරණය, පරිපාලනය, උපක්‍රමික දැනුම යන කිසිවක් එයාලගේ පුහුණුවේ නැහැ. ඔවුන් ලබාගත් අධිකාරිය Commission යුද හමුදාවේ අධිකාරියට සමාන නැහැ. (ජාතික ශිෂ්‍යභට බලකායේ National Cadet Corps = NCC අධිකාරි ලත් නිලයන්, යුද හමුදාවේ අධිකාරියට සමාන වන්නේ නැහැ. ඊට කලින් තිබුන ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය Sri Lanka Cadet Corps = SLCC සහ ලංකා ශිෂ්‍යභට බලකායේ Ceylon Cadet Corps = CCC අධිකාරිය, යුද හමුදාවේ (ත්‍රිවිධ හමුදාවේ) අධිකාරියට සමානයි) 

ඉතින් මේ පිං කර්නල් කෙනෙක් තමයි, අර කුරුණෑගල ඉස්කෝලෙක, අහිංසක ගෑණු ළමයෙකුට, සියදිවි නසාගන්න සැලැස්සුවේ. මේ පිං හමුදා නිළ අහෝසි කරලා, වර්තමානයේදී චක්‍රලේඛ සහ ගැසට් නිවේදන නිකුත්කර තිබුනත්, සමහරු තවමත් ඒවා පාවිච්චි කරනවා. මම දැක්කා දකුණු පළාතේ, එලගවන්න අමාරු ප්‍රින්සිපල් නෝනා කෙනෙක්, තවම මේ තනතුරු නාමය පාවිච්චි කරනවා. මේ අයගෙන් ඇහුවොත්, යුද්ධයේ මූලධර්ම දහය මොනවාද කියලා, ඇඳගෙන ඉන්න වස්තරේම පහවෙනවා. 

හොඳයි මොනවද ඉතින් මේ ආණ්ඩුවෙන් පුහුණු කරපු මේ හමුදා හෙන්චයියන්ට කරන්න පුළුවන්? 

මේ හෙන්චයියන්ගේ ලොකු වෙනසක් තියනවා, අර හෙන්චයියන්ට වඩා. වැදගත්ම දේ තමයි, මේ අයට ඉහල මට්ටමේ හමුදා පුහුණුවක් ලබාදී තිබෙනවා. ඒ කියන්නේ, හදිසියකදී මේ අයව යුද්දෙට යවන්න පුළුවන්. ඔවුන්ට ලබාදී තිබෙන අධිකාරි බලය, ත්‍රිවිධ හමුදාවේ අධිකාරි බලයට සමානයි. ඇත්තටම ඔවුන්, අර පිං නිලනාම නෙවෙයි දරන්නේ. ඔවුන්,  ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ අධිකාරි ලත් නිලධාරීන්. 

මතක තියාගන්න. ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාවට ලබාදෙන, ඉහලම වීර පදක්කම වන, 'පරම වීර විභූෂණය' පදක්කමෙන්, අපේ හමුදා ඉතිහාසයේ පළමුවරට පිදුම් ලැබුවේ, තම දිවිපුදා සටන් කල, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරියකු වන, කපිතන් සාලිය උපුල් අලදෙණියයි. 

යුද්ධ කරන්න නම් ඉතින් නිත්‍ය හමුදාව ඉන්නවනේ. අනික දැන් යුද්ධයක් නැහැනේ. ඉතින් මොකටද මේ වගේ අය පුහුණු කරන්නේ? රාජ්‍ය/පෞද්ගලික ආයතනවල සේවක නිදහස යට කරලා, මිලිටරි පාලනයක් හදන්න නේද මේ අරඅඳින්නේ? 

ඔන්න ඕකට තමයි පැන්තාලියේ කිඹුලන් දකිනවා කියන්නේ. මිනිස්සු දැන් ඉස්සර තරම් මෝඩ නැහැ. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා, දුර තියාම මිනිස්සු දන්නවා. ඔබ හිතනවද මේ වගේ අය ආයතන ප්‍රධානීන් හැටියට පත් කරලා, මිලිටරි පාලනයක් හදාගෙන, මේ ආණ්ඩුවට හැමදාම ඉන්න පුළුවන් වෙයි කියලා? එහෙම කරන්න ගියොත්, මම නම් හිතන්නේ, විදේශීය බලවේග වල සහයත් අරගෙන, 1971, 1988, තත්වයට වඩා දරුණු, මහජන නැගිටීමක් ඇතිවෙනවා.

එහෙනම් මොන කෙහෙම්මලක්ද මේ මිනිස්සුන්ගෙන් කරන්න පුළුවන්? 

බලන්න අපේ රටේ, එක අවුරුද්දකට, වැඩ වර්ජන, අකුරට වැඩ කිරීම්, ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාර, වතු සේවක, විදුලිය, ජලය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන, දුරකථන සේවා, වැනි ආයතන වල වර්ජන කොච්චර තියනවද? එයින් කොච්චර මහජන පීඩාවක් ඇතිවෙනවද. මේ වගේ අවස්ථාවල යුද හමුදාව යෙදෙව්වට, හමුදාවට පුළුවන් වෙන්නේ, ඒ ඒ ආයතනවලට යම් භෞතිකමය හානියක් වීම වළක්වාගන්න විතරයි. ඒ ආයතනයේ ක්‍රියාකාරිත්වය ප්‍රතිෂ්ඨාපනය කරන දැනුම, හමුදාවට නැහැ. මේ වගේ වෘත්තිකයන්, හමුදා නිලධාරීන් ලෙස පුහුණු කර ගත්තම, ඔවුන්ට අදාළ ක්‍ෂේත්‍රය වෙත ඔවුන්ව යොමු කරවන්න පුළුවන්. එමගින් එකී සේවාවන් බිඳ නොවැටී පවත්වාගන්නටත්, අහිංසක මහජනතාවට සිදුවන පීඩාව අවම කරගන්නටත් පුළුවන්. (ඔවුන්ට පුළුවන් අනෙකුත් හමුදා නිලධාරීන්ට හමුදා සෙබළුන්ට උගන්වන්න, කලයුතු දේ) 

ඒ කියන්නේ වැඩවර්ජන කඩාකප්පල් කරනවා? 

නෑ නෑ නෑ, වැඩවර්ජන කරන අය ඒවා කරගෙන යන්න. මහජනතාව පීඩාවට පත්වීම අවම කිරීම පමණයි, හමුදාවෙන් කෙරෙන්නේ. ඒක වැරැද්දක් ද? 

මේ වැඩපිළිවෙලේ මම අකමැති එකම එක දෙයයි තියෙන්නේ. ඒ, මේ ව්‍යාපාරයට දී තිබෙන නම. 'අපි ආමි' හා....පෝ.....අජපල් නමක්. මේ නම දැක්කම, මිනිස්සු හිතන්නෙම, මෙතන තියෙන්නේ මිලිටරිකරණය කියලා. අපි ආමි කියලා, නිකම් ආමි පාට් දැමීම සුදුසු මදි. 'අපෙන් රටට' වගේ නමක් දැම්මනම් හොඳයි. 

2016 අප්‍රේල් මස 06 වැනි දින 2322 පැය

23 March 2016

අපි නොදන්න පෙළපාලි (තුන්වැනි කොටස)

Military Parade
යුද හමුදාවේ පැවැත්වෙන විවිධ පෙළපාලි ගැන ලියවෙන මේ ලිපි මාලාවේ, පළමුවැනි කොටසෙන් සහ දෙවැනි කොටසෙන්, ඔබේ දැනුමට සෑහෙන කරුණු ප්‍රමාණයක් එක්වූ බව, ඔබෙන් ලද ප්‍රතිචාර වලින් පැහැදිලි වුන අතර, ඒ ගැන මා සතුටු වෙනවා. හමුදාවක්, පෙළපාලිවල යෙදෙනවා දකින්න, එදත් අදත් මහජනතාව කැමතියි.

   ඔබ දන්නවා ඇති, වර්තමානයේදී, අපේ රටේ නිදහස් දින පෙළපාලිය, සජීවීව රූපවාහිනියෙන් ප්‍රචාරය කරනවිට, ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදවා, පසුබිම් කථනයක් ලෙස, නරඹන්නන්ට පැහැදිලි කිරීමක් ලබාදෙනවා, ඒ ඒ හමුදාවේ කුමන කොටස්ද, මේ අවස්ථාවේදී පෙළපාලියේ ගමන් කරන්නේ යන්න. නමුත් මෙවැනි ලිපියකින් එවැනි දීර්ඝ විස්තරයක් කිරීම තේරුමක් නැති වැඩක්. මා උත්සාහ කරන්නේ, සීමිත පිරිසකට පමණක් දකින්න ලැබෙන හෝ සාමාන්‍ය ජනතාවට දකින්න නොලැබෙන පෙළපාලි පිළිබඳව, ඔබව දැනුවත් කරන්නයි.  

අද මුලින්ම බලමු, හමුදා පුහුණුව ලැබූවන්, (නිළධාරීන් සහ/හෝ සෙසු නිළයන්) විසිරයාමේ පෙළපාලියක් පැවැත්වෙන ආකාරය.  Passing out Parade = PoP) මෙවැනි පෙලපාලියක සාමාන්‍ය පිළිවෙත මෙයයි.

1. පෙළපාලියේ උප අණදෙන නිළධාරියා විසින්, පෙළපාලිය, පෙළපාලි භූමිය (Parade Ground) වෙත රැගෙන ඒම. තූර්ය වාදක කණ්ඩායමද මේ සමගම එනවා.

   (ඔබ දන්නවාද ඕනෑම හමුදා කඳවුරක, පෙළපාලි පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන භූමිය, ගෞරවාන්විත ස්ථානයක් ලෙසයි සැළකෙන්නේ. කිසිවකුටත් එහි නිකරුනේ රැඳී සිටින්නට බැහැ, අවශ්‍යතාවකින් තොරව, එය හරහා ගමන් කරන්නට බැහැ, නිල ඇඳුමෙන් හෝ ශාරීරික අභ්‍යාස ඇඳුමෙන් සැරසී නැත්නම්, කොහොමවත් එය හරහා ගමන් කරන්නට බැහැ, එය හරහා නිකම් ගමන් කරන්නට බැහැ, හමුදාවේ ක්‍රමයට ගමනේ යෙදිය යුතුයි. (march) පෙළපාලි භූමිය අවට වාඩිවී කතාබහේ යෙදී ඉන්න බැහැ, ගස් වැනි දේ වලට හේත්තුවී ඉන්නට බැහැ, පෙළපාලි භූමිය තුළ අනවශ්‍ය උසුළු විසුළු කිරීම, නිසි පිළිවෙතට අනුව හැඳ පැළඳ නොසිටිමින් පෙළපාලි භූමියට ඇතුළුවීම, පෙළපාලි භූමිය තුළ දුම්බීම, බුලත්විට කෑම, කෙළ ගැසීම, සපුරා තහනම්. ඒවා බරපතල දඬුවම් ලැබියහැකි වැරදි ලෙසයි සැළකෙන්නේ.)

2. පෙළපාලිය පෙළ සැදීම. මෙහිදී සරඹ උපදේශක වරුන් විසින් පෙළපාලිය නිවැරදිව පෙළගස්වනවා.

3. පෙළපාලියේ දෙවැනි අණදෙන්නා එක අවස්ථාවකදී, 'පෙළපාලිය පසෙක අවි' යන විධානය දෙනවා. එයින් කියවෙන්නේ, 'පෙළපාලි අණදෙන නිලධාරි තුමනි, ඔබට පෙළපාලිය බාරදීමට මා සූදානම්' කියන එකයි. මෙහිදී පෙළපාලි අණදෙන්නා පෙළපාලි භූමියට පැමිණ තමන්ට පිටුපා පෙළපාලියට මුහුණ ලා සිටහෙන සිටින පෙළපාලියේ දෙවැනි අණදෙන නිලධාරියාට මීටර් දෙක තුනක් පසුපසින් නවතිනවා.

4. පෙළපාලි අණදෙන නිලධාරියා පැමිණ නවතින හඬ,  පෙළපාලි දෙවැනි අණදෙන නිලධාරියාට ඇසෙනවා. (දැන්නම් දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පෙළපාලි අණදෙන්නා එන්නේ අශ්වයකු පිට) ඔහු, 'පෙළපාලිය නොසැලෙන්' යන විධානය දී, ආපසු හැරී, පෙළපාලි අණදෙන්නා වෙත පැමිණ, ආචාර කර, මෙසේ වාර්තා කරනවා. සුභ උදෑසනක් වේවා තුමනි, නිලධාරීන්.....දෙනෙකුගෙන්ද, කැඩෙට් නිලධාරින්....දෙනෙකුගෙන්ද, කැඩෙට් නිලධාරිණියන්.....දෙනෙකුගෙන්ද, ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්....දෙනෙකුගෙන්ද, සමන්විත පෙළපාලියේ, සියල්ල සම්පූර්ණයි නිවැරදියි, පෙළපාලිය ඔබතුමාට භාරයි තුමනි' මෙසේ වාර්තා කර ඔහු නැවතත් පෙළපාලි අණදෙන්නා වෙත ආචාර කර ආපසු හැරී, පෙළපාලියේ පසුපස කෙලවරට ගොස් නවතිනවා.

(මෙහිදී පෙළපාලියේ දෙවැනි අණදෙන නිලධාරි, පෙළපාලි අණදෙන නිලධාරිට ආචාර කරන්නේ, තම අසිපතෙන්. නමුත්, පෙළපාලි අණදෙන නිලධාරි ආචාර කරන්නේ, සාමාන්‍ය ක්‍රමයට salute කිරීමෙන්. කවදාවත්, තමන්ට වඩා පහළ නිළයක කෙනෙකුට, අසිපතෙන් ආචාර කරන්නේ නැහැ)

5. දැන්, පෙළපාලි අණදෙන නිළධාරියා, තම අසිපත, නියමිත ක්‍රමයට, (drill) කොපුවෙන් එළියට ගන්නවා. ඉන්පසු ඔහු, පෙළපාලිය සීරුවෙන් අවි යන විධානය දී, ආපසු හැරී, සූදානමෙන් සිටිනවා. (මේ සියල්ල කෙරෙන්නේ, පෙළපාලියට අදාළ ප්‍රධාන අමුත්තාගේ පැමිණීම සමග, කාල සම්බන්ධීකරණය සහිතවයි. පෙළපාලිය, නිකරුනේ, දිගු වේලාවක්, අව්වේ, පෙළපාලි භූමියේ තබාගන්නේ නැහැ. වැස්සොත්? වැස්සොත් ඉතින් 'නෝ පෙළපාලි' තමයි. කවදාවත්, වැස්සේ පෙළපාලියක් තියන්නේ නැහැ. වැසි කාලය ගැන හොඳින් හදාරා තමයි, පෙළපාලි දින වෙන්කරගන්නේ)



6. පෙළපාලි අණදෙන්නා, 'පෙළපාලිය පහසුවෙන් සිටින්' යන විධානය දී, හොඳින් කන්දීගෙන ඉන්නවා. ප්‍රධාන අමුත්තා කදවුරු මුරහල අසළට පැමිණ කඳවුරු මුරය පරීක්ෂාකරන ආකාරය ඇසෙන තුරු. කඳවුරු මුරපතු ප්‍රධාන මුත්තාට මුරය වාර්තා කිරීම පිණිස 'මුරය උත්තමාචාර අවි' යන විධානය දුන් වහාම පෙළපාලි අණදෙන්නා 'පෙළපාලිය සීරුවෙන් සිටින්' යන විධානය දෙනවා. (උත්තමාචාර අවි පිරිනමන අවස්ථාවේදී සියලුදෙනා සීරුවෙන් සිටගත යුතුයි. සාමාන්‍ය අමුත්තන්ට පවා උපදෙස් ලැබෙනවා, ඒ අවස්ථාවේදී, තමන් සිටින අසුනෙන් නැගී සිටින ලෙස)

7. ප්‍රධාන අමුත්තා, පීඨිකාව වෙත පැමිණෙන්නට ප්‍රථම, 'පෙළපාලිය පසෙක අවි' යන විධානය පෙළපාලියට දෙනවා. අමුත්තා පීඨිකාවට පැමිණි පසු මුලින්ම උත්තමාචාරයක් පුදකරනවා. ඉන්පසු, පෙළපාලි අණදෙන්නා පෙළපාලිය වාර්තා කරනවා. එකම එක වෙනසක් සහිතව. කියන පුලුවන්ද වෙනස? දෙවැනි අණදෙන නිලධාරියා, පෙළපාලි අණදෙන නිලධාරියාට වාර්තා කලාට වඩා, එක නිලධාරියෙක් දැන් වැඩියි. ඒ තමයි පෙළපාලි අණදෙන්නා. ඒ අනුව, එක නිලධාරියකු වැඩිකොට තමයි, අමුත්තාට පෙළපාලියේ සිටින සංඛ්‍යාව වාර්තා කරන්නේ.

502029778

8. දැන්, නවක නිලධාරීන්ට අසිපත ප්‍රදානය කිරීමේ අවස්ථාව එළඹෙනවා. ප්‍රධාන අමුත්තා අතින් තමයි එය පිරිනැමෙන්නේ.



9. ප්‍රධාන මුත්තා පෙළපාලිය පරීක්ෂා කිරීම ඉන් අනතුරුව සිදුකෙරෙනවා. 



10. ඉන් අනතුරුව, පෙළපාලිය, සාමාන්‍ය ගමනින් සහ සෙමෙන් ගමනෙන්, වට දෙකක් ගමන් කරනවා. එසේ ගමන් කරන අතර, ප්‍රධාන අමුත්තා සිටින පීඨිකාව ඉදිරිපිටින් යද්දී, අමුත්තාට ආචාර කරනවා. එවැනි පැරණි පෙළපාලියක, විනාඩියක් පමණක් දිවෙන වීඩියෝවක් මෙතන තිබෙනවා. 




11. ඉන් අනතුරුව පුහුණුවේදී විශේෂ දක්ෂතා දැක්වූවන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ප්‍රධාන අමුත්තා අතින් සිදුවෙනවා. ත්‍යාග ප්‍රදානයෙන් පසු අමුත්තා, උපරිම වශයෙන් විනාඩි 5 කට පමණ සීමාවන කථාවක් පවත්වනවා. එම කථාව අවසානයේදී නැවතත් උත්තමාචාරයක් ලබාදී, පෙළපාලිය ඉතා හැඟීම් බර තාලයකට තූර්ය වාදනයක් පැවැත්වෙද්දී විසිර යනවා.



   ලෝකයේ සෑම රටකම පාහේ පැවැත්වෙන, ජාතික උත්සව වලදී, හමුදා පෙළපාලි පැවැත්වෙන බව, ඔබ දන්නවා. අපේ රටේ තිබෙන, එවැනි ප්‍රධානතම පෙළපාලිය වන්නේ, නිදහස් දින පෙළපාලියයි. ඕනෑම රටක් තම ජාතික දින පෙළපාලියේදී හමුදා ශක්තිය විදහා පෑමත් සිරිතක්, සම්ප්‍රදායක්. මේ සඳහා කාලීනව ස්ථාවර නියෝග පැනවෙනවා.

   අද ලෝකයේ සෑම රටකම පාහේ ජාතික දිනය, විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම වැනි අවස්ථා වෙනුවෙන්, ඉදිරිපත් කෙරෙන පෙළපාලි වලදී, විවිධ ආරක්ෂක පියවර රැසක් ගන්නවා. එයින් එකක් තමා, එවැනි පෙළපාලියක සොල්දාදුවන් අතේ තිබෙන තුවක්කු, වෙඩිතැබිය නොහැකි තත්වයට පත්කිරීම. කොහොමද එහෙම කරන්නේ? හරිම සරලයි. එහිදී කරන්නේ, තුවක්කුවක තිබෙන පතරොමක් පත්තුවීමට අවශ්‍ය ප්‍රහාරය ලබාදෙන කොටස ඉවත් කිරීමයි. ඒ කියන්නේ, තුවක්කුවේ පිස්ටන් කොටසේ පසුපස තිබෙන, බෝල්ට් එක ඉවත් කිරීමයි.





   මෙහෙම කරලා විතරක් මදි. පෙළපාලිය පවත්වන හමුදා අංශයේ අණදෙන නිලධාරි විසින්, පෙළපාලිය පැවැත්වීමට පෙර,  ලිඛිත සහතිකයක්, අදාළ උසස් මූලස්ථානයට, (හමුදා මූලස්ථානයට/ආරක්ෂක සේනා මූලස්ථානයට/සේනාංක මූලස්ථානයට/බලසේනා මූලස්ථානයට) දෙන්නට ඕනේ, පෙළපාලියේ ගෙනියන සියලුම අවි, ආරක්‍ෂිත තත්වයට පත්කර ඇති බවට.

   එමෙන්ම පෙළපාලියේ ගෙනයන RPG, බර මැෂින් තුවක්කු, මල්ටි බැරල් රොකට් ලෝන්චර්, කාලතුවක්කු, යුද ටැංකි, මිසයිල්, ආදී සියලුම බර අවි ද, මෙලෙසම වෙඩි තැබිය නොහැකි තත්වයෙන් තමයි රැගෙන යන්නේ. නාවික ප්‍රහාරක යාත්‍රා, ප්‍රහාරක ගුවන් යානා, හෙලිකොප්ටර් ද, ඒ ආකාරයෙන්ම තමයි ගමන් කරන්නේ.

   සාමාන්‍යයෙන්, යුද ටැංකියක්, මෙවැනි පෙළපාලියක ගමන් කිරීමේදී, ප්‍රධාන ආරාධිත අමුත්තාට ආචාර කරන්නේ, යුද ටැංකියේ ප්‍රධාන තුවක්කුව අමුත්තා දෙසට හරවා, එය පොලොව දෙසට පහත් කිරීමෙන්. නමුත් දැන් එහෙම කරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ, පෙළපාලිය යන පැත්තටම ප්‍රධාන තුවක්කුව හරවා තබාගෙන, ප්‍රධාන අමුත්තා සිටින පීඨිකාව අසලට පැමිණෙනවිට, පොලොව දෙසට පහත් කිරීමයි. 



   මෙසේ කරන්නේ ඇයි? මෙතරම් ආරක්ෂක පියවර රැසක්, මෙවැනි පෙළපාලියකදී ගන්නේ ඇයි? එයට සම්බන්ධ එක්තරා විශේෂ සිදුවීමක් තිබෙනවා. ඒ තමයි, ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට, මෙවැනි පෙළපාලියක් අතරතුරදී, පෙළපාලිය පැවැත්වූ රටේම රාජ්‍ය නායකයා, පෙළපාලියේ ගමන්කළ භට පිරිසක් විසින්ම ඝාතනය කිරීම. ඒ රාජ්‍ය නායකයා තමයි, ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්. ඒ සිද්ධිය දැක්වෙන, මේ වීඩියෝවත් බලන්න.





   ලෝකයේ සමහර රටවල්, තමන්ගේ ත්‍රිවිධ හමුදාවන්හි අනන්‍යතාව කැපී පෙනීම සඳහා, විවිධාකාරයේ නිල ඇඳුම් මෙන්ම, හමුදා සරඹ විධි පවා වෙනස් ආකාරයෙන් සිදුකරනවා. සාමාන්‍යයෙන්, බොහොමයක් බටහිර රටවල් මෙන්ම, ආසියානු රටවල් සෑහෙන ගණනක්, අදත් අනුගමනය කරන්නේ, බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු සම්ප්‍රදායේ හමුදා සරඹ විධි. 

   නමුත්, විශේෂයෙන් කොමියුනිස්ට් රටවල්, තම හමුදාවන්හි අනන්‍යතාව පවත්වාගැනීම සඳහා විශේෂ වූ හමුදා ගමන් විලාශයක් යොදාගන්නවා. මෙය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ Goose Step March (තාරා ගමන?) යනුවෙන්. මෙහිදී, තම පාද ඉදිරියට එසවෙන ආකාරයේ ගමන් විලාශයක් තමයි අනුගමනය කරන්නේ. 





යම්කිසි සීමාවක් සහිතව මෙලෙස ගමන් කිරීමේදී අලංකාර බවක් තිබෙනවා.



නමුත් අර උතුරු කොරියාවේ මොළය නොමේරූ උන්නැහේට, අලුත් සරඹ විධි ඕනෑ වෙලා තියන බව පෙනෙනවා. මේ බලන්නකෝ උතුරු කොරියන් වැඩ.  



ඔය ඉහළින් තියන පින්තූර දෙක කමක් නෑ කියමුකෝ. එතකොට මේ පහළ තියන එව්වා මෙව්වා කොහොමද? 



නිකං ලෝකේ හිනස්සන විහිලු නේද මෙව්වා? අනේ අපිට ඔය තේ උඩිච්චියන්ගේ කකුල් එපා. අපිට අපේ කකුල් හොඳා.


හ්ම්.............අදට මේ ඇති නේද? ඊළඟ ලිපියෙන් තවත් පෙළපාලි බලමු. 


2016 මාර්තු මස 23 වැනි දින 0056 පැය

19 March 2016

අපි නොදන්න පෙළපාලි (දෙවැනි කොටස)

Parade
'අපි නොදන්න පෙළපාලි' ලිපි මාලාවේ පළමුවැනි කොටසට, ඔබෙන් ලද ප්‍රතිචාර වලට ස්තුතිවන්ත වෙමින්, දෙවැනි කොටසත් ඔබවෙත ගෙන එනවා. මා සිතාගත්තා, මේ ලිපි මාලාව, හැකිතරම් කෙටියෙන් සහ තරමක් වේගවත්ව ඉදිරියට ගෙනයාමට.

   කෙසේ වෙතත් මේ දිනවල මා අතිශයින් කාර්ය බහුල තත්වයකට පත්ව සිටිනවා. ඒ අතරම, පසුගිය දිනවල සිදුවුන විදුලිය ඇණහිටීම, ලිපි ලිවීමට මහත් බාධාවක් වුණා. එමෙන්ම, මෙවැනි ලිපි ලිවීමේදී, තොරතුරු නිරවද්‍යතාව සහ අවශ්‍ය කරුණු පමණක් ලිවීම, ඉතා පරෙස්සමෙන් කළයුතුව තිබෙනවා. පසුගිය ලිපියෙන් ඔබ කඳවුරු මුර පරීක්ෂාව හෙවත්, Guard Turnout කියන්නේ මොකක්ද කියන එක ගැන සරල අවබෝධයක් ලබාගත් බව ප්‍රතිචාර වලින් පෙණුනා.

   මේ ලිපියෙන් අපි බලමු 'සම්මාන මුරයක් හෙවත් Guard of Honour' කියන්නේ කෙබඳු පෙළපාලියක්ද යන්න.

   කලින් ලිපියේ සඳහන් මුර පරීක්ෂාවට වඩා, විශාල පරිමාණයේ පෙළපාලියක් තමා, සම්මාන මුරය කියන්නේ. මෙය, ත්‍රිවිධ හමුදා නිලධාරියකුට වගේම, ත්‍රිවිධ හමුදාවට අයත් නැති, රාජ්‍ය නායකයන්, තානාපති වරුන්, මැති ඇමතිවරුන් වැනි අයටත්, පිරිනමන්න පුළුවන්.

   නාවික හමුදාව නම්, මෙවැනි පෙළපාලි නැවකදී වුනත් පවත්වනවා.


(පාප් වහන්සේත් රාජ්‍ය නායකයකු ලෙස සැළකෙන නිසා, උන්වහන්සේටත් මෙවැනි පෙළපාලි පිරිනැමෙනවා. ඔබ මේ දිනවල දකින්නට ඇති, අපවත්වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ, අතිගරු මහානායක ස්වාමීන් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති දෙන අසළ, ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුරයක් යොදවා තිබෙන ආකාරය. එය සිදුවන්නේද, රාජ්‍යාරක්‍ෂක අමාත්‍යංශයේ නියෝග අනුවයි. එවැනි ස්වාමීන් වහන්සේනමක ගේ ආදාහන උළෙලේදී, කාලතුවක්කු අචාර වෙඩිමුර පවා පවත්වනවා.)

cdf-ng-chee-meng-was-part-data

   එසේම මෙය අවස්ථාව/අවශ්‍යතාව මත ත්‍රිවිධ හමුදාවෙන් එක් හමුදාවක් විසින් (තම හමුදාවට පමණක් සීමාවන උත්සවයක් නම්, එම හමුදාව පමණයි සහභාගි වන්නේ) හෝ ත්‍රිවිධ හමුදාවම යොදවා, (නිදහස් උත්සවය, රාජ්‍ය නායකයකු පිළිගැනීම වැනි) පවත්වන්නට පුළුවන්.

   මෙවැනි පෙළපාලියක්, දැඩි පරිශ්‍රමයකින් හා සංවිධානයකින් යුක්තව පැවැත්විය යුතුයි. අඩුපාඩු වැරදීම් වුනොත් රටේ අභිමානය කෙලෙසෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා, පුහුණුවීම් ඉතා ඉහළ මට්ටමෙන් පවත්වනවා. (අපේ රටේ නිදහස් උත්සව දින පෙළපාලියේ, අවසන් පෙර පුහුණුවට, ජනාධිපති නියෝජනය කරමින්, නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහභාගි වෙනවා)  නිදහස් දිනය, යුද ජයග්‍රහණය, සැමරීම සඳහා පවත්වන පෙළපාලි ගැන කතාකිරීම පසුවට තබා, ගෞරව සම්මාන පෙළපාලිය ගැන මුලින්ම කියා සිටින්නම්.

   ගෞරව සම්මාන පෙළපාලියක්, කාලගුණික බාධා වලින් වැළකීම සඳහා, අවශ්‍යනම්, ගොඩනැගිල්ලක් ඇතුළත වුනත් තියන්න පුළුවන්. නමුත්, අපේ රටේ එසේ කරන අවස්ථාවක් මා දැක නැහැ. ශීත කාලය දැඩිව පවතින රටවල, එහෙම කරනවා.  

   ගෞරව සම්මාන මුරයක් දීමට සුදුසු වන්නේ කාටද කියා, ඒ ඒ රටේ ආරක්‍ෂක අමාත්‍යාංශය හෝ අදාළ ආයතනය මගින්, කාලීනව ස්ථාවර නියෝග පනවනු ලබනවා. ලංකාවේ රාජ්‍යයට අදාළව, ජනාධිපති, අගමැති, අගවිනිසුරු, කථානායක, කැබිනට් ඇමතිවරු, ෆීල්ඩ් මාර්ෂල්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, සඳහා ත්‍රිවිධ හමුදා ගෞරව සම්මාන පෙළපාලි පුද කරනවා.

G of H 1

   එක් හමුදාවකින් පමණක් ඉදිරිපත් කරන පෙළපාලි, ඉහත සඳහන් අයට අමතරව, ආරක්ෂක ලේකම්, ඒ හමුදාවේ හමුදාපති, පොලිස්පති, සහ එසේ පුද කිරීමට සම්මත කරගත් ත්‍රිවිධ හමුදා උසස් නිළධාරීන්ට (සාමාන්‍යයෙන් කර්නල් සහ ඊට ඉහළ නිළවලටයි පිරිනමන්නේ. නමුත්, බලඇණියකින් පිරිනමන ආචාරයක්, මාණ්ඩලික නිලධාරි I මට්ටමේ සිටින, මේජර් නිලයේ නිළධාරීන්ටත් පිරිනැමෙනවා.) මේ පෙළපාලියේ සාමාන්‍ය පිළිවෙත මෙහෙමයි.

1. අමුත්තා පැමිණීමට පෙර පෙළපාලිය සහ තූර්ය වාදක කණ්ඩායම නියමිත ස්ථානයේ පෙළ සෑදීම.

2. පේළි නිවැරදි කරගැනීම (ඇදකුද නැතිව පේළි හරියට කෙළින් තැබීම. මෙය කරන්නේ සරඹ උපදේශක වරයකු විසින් කෙරෙන අණදීම් වලින්) 

3. අමුත්තා, පෙළපාලිය පිළිගන්නා පීඨිකාව Saluting Dais වෙත පැමිණීමට පෙර, පෙළපාලිය 'සීරුවෙන් අවි' ඉරියව්වේ තැබීම (පෙළපාලි අණදෙන්නා විසින් අණදීමෙන්)

4. අවශ්‍යනම් පෙළපාලිය පේළි දෙකක් ලෙස සැකසීම සඳහා අණ දීම. 'පසෙක අවි' යන අණ වචනය දීම සහ, උත්තමාචාරය ලබාදීම. ඉන්පසු, පෙළපාලි අණදෙන්නා, අමුත්තා වෙත ගොස්, සිය අසිපත පහත්කොට ආචාර කර, පෙළපාලිය වාර්තා කිරීම. මෙහිදී කියන්නේ, සුබ උදෑසනක්/මධ්‍යාහ්නයක්/සන්ධ්‍යාවක් වේවා, ජනාධිපතිතුමනි/උතුමාණනි/ඇමතිතුමනි/තුමනි, නිළධාරීන්........දෙනෙකුගෙන් ද, සෙසු නිලයන්........දෙනෙකුගෙන් ද, (පෙළපාලියේ සිටින නිලධාරීන් සහ සෙසු නිලයන් ගණන කියනවා. පෙළපාලිය පිළිගන්වන අමුත්තාගේ තනතුර අනුව, පෙළපාලියේ කී දෙනෙක් සිටිය යුතුද, අණදිය යුත්තේ කුමන නිලයක නිලධාරියකු විසින්ද යන්න පිළිබඳව, හමුදා නියෝග තිබෙනවා. ඒ අනුවයි පෙළපාලිය පවත්වන්නේ) සමන්විත පෙළපාලියේ සියල්ල සම්පූර්ණයි නිවැරදියි, ඔබතුමාගේ පරීක්ෂණය සඳහා සූදානම්, (ජනාධිපතිතුමනි/උතුමාණනි/ඇමතිතුමනි/තුමනි) යනුවෙන්.

පසුව එකතු කිරීම:- මේ පෙළපාලියේදී උත්තමාචාරය පුදකිරීම සිදුවන අතර තූර්යවාදක කණ්ඩායමෙන් පහත දැක්වෙන වාදනයට සමාන වාදනයක් ඉදිරිපත් කරනවා. අපේ රටේ වාදනයත් මෙයට 99% ක් සමානයි.



5. 'ඔබතුමාගේ පරීක්‍ෂණය සඳහා සූදානම්' කියන්නේ, අමුත්තා විසින්, පෙළපාලිය ඉදිරියෙන් ගමන්කර එය නිරීක්ෂණය කිරීමයි. මේ සඳහා රතු පලසක් එළා තබනවා. පීඨිකාවේ සිට පෙළපාලිය දෙසට මුහුණ ලා සිටගත් විට, අමුත්තාගේ වම් අත පැත්තෙන් අංශක 45 ක පමණ කෝණයකට විහිදෙන රතු පලස, ඉන්පසු පෙළපාලියේ ඉදිරි පේළිය ආරම්භවන ස්ථානයේ සිට, එම පේළිය ආසන්නයෙන් විහිදෙනවා. පේලිය අවසන් වන ස්ථානයේදී, නැවතත් එය අංශක 45 ක් පමණ කෝණයකින් යුක්තව, ආපසු පීඨිකාව වෙත විහිදෙනවා. අමුත්තා මේ පලස දිගේ ගොස් පෙළපාලිය නිරීක්‍ෂණය කරනවා.

G of H 2

   ඒ ඒ පෙළපාලියේ ස්වභාවය අනුව අමුත්තා සමග තවත් අය ගමන් කරනවා. අපි හිතමු පෙළපාලිය පවත්වන්නේ ජනාධිපතිතුමා වෙනුවෙන් කියා. එහෙම නම්, ජනාධිපති තුමා පෙළපාලිය නිරීක්ෂණය කරන්නට යනවිට, ඒ පෙළපාලියට අදාළ හමුදාවේ/ඒ ස්ථානයේ සිටින ඉහලම නිලධාරියාත්, ජනාධිපතිතුමාට පසුපසින් ගමන් කරනවා. ජනාධිපති තුමා හෝ ඕනෑම ප්‍රධාන අමුත්තකු සමග, සමාන්තරව ගමන් කරන්නේ පෙළපාලියේ අණදෙන්නා පමණයි. නමුත් මෙය සෑම රටකම ඒ ආකාරයටම කෙරෙන්නේ නැහැ. ඒ ඒ රටේ සම්ප්‍රදාය වෙනස් වෙනවා. 

G of H 3

 විදේශීය රාජ්‍ය නායකයකු පැමිණි අවස්ථා වලදී, බොහෝවිට, එම රටේ රාජ්‍ය නායකයා එම විදේශීය රාජ්‍ය නායකයා කටුව පෙළපාලිය නිරීක්‍ෂණය කරනවා. කෙසේ වෙතත්, ඒ ඒ රටේ සම්ප්‍රදාය වෙනස්වන අවස්ථා ද තිබෙනවා.

G of H 4

   හමුදා නිලධාරියකු නොවන අමුත්තන්, මෙවැනි පෙළපාලියක් නිරීක්ෂණය කිරීමට යාමට පෙර දැන සිටිය යුතු කරුණු තිබෙනවා. එයින් වැදගත් කරුණු දෙකක් සඳහා විශේෂ අවධානය දිය යුතුයි. රතු පලස දිගේ, පෙළපාලියේ ඉදිරි පේලියේ කෙලවරට පැමිණි පසු, පෙළපාලි අණදෙන්නා, තමන් ගමන්කළ පැත්ත මාරු කරනවා. ඒ බව නොදැන, අමුත්තා දිගටම ගමන් කලොත්, පෙළපාලි අණදෙන්නාට අමුත්තා පසුපස දුවන්නට වෙනවා. ඒ නිසා එතනදී අමුත්තා තම ගමන් වේගය මඳක් බාල කලයුතුයි.

036

   සමහරවිට අමුත්තාට අමතක වෙනවා, පෙළපාලිය නිරීක්‍ෂණයකොට ආපසු හැරෙන ස්ථානය. එවිට එය පෙන්වාදීම යහපත් ක්‍රියාවක්. 


   ඊටත් වඩා වැදගත් කාරණයක් තිබෙනවා. ඒ තමයි පෙළපාලියේ මැද තිබෙන ඒ රටේ ජාතික ධජයට හෝ, හමුදා පෙළපාලියක් නම් එහි ඇති හමුදා වර්ණ ධජ වලට ආචාර කල යුතුයි. හමුදා නිළධාරියකු ප්‍රධාන අමුත්තා ලෙස පෙළපාලිය නිරීක්‍ෂණය කරන්නේ නම්, හමුදා පිළිවෙත අනුව ආචාර කල යුතුයි.


   අපේ රටේ හිටපු ජනාධිපති වරුන් අතරින්, මෙය නිවැරදිව කරනු මා මෙතෙක් දැක ඇති එකම ජනාධිපතිවරයා, ජේ.ආර්.ජයවර්ධන මැතිතුමායි. එයට එකම හේතුව, ඔහු ස්වේච්ඡා බලසේනාවේ නිලධාරියකු ලෙස සේවය කර තිබීම නිසා, එසේ ආචාර කිරීම දැන සිටීමයි. 

   අපේ රටේ ජනාධිපතිවරයා (කවුරු වුනත්) විදේශයකට ගියවිට, එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින හමුදා සම්බන්ධිකරණ නිළධාරියා Military Attaché විසින්, මෙවැනි පෙළපාලියක් නිරීක්ෂණය කිරීමට ප්‍රථම, ජනාධිපතිවරයාට, එහි තිබෙන සම්ප්‍රදාය මතක් කර දිය යුතුයි. එසේ නැතහොත්, ජනාධිපතිවරයා සමග යන ඊනියා උපදේශකයකු, එය මතක් කර දියයුතුයි. සමහර පෙළපාලි වල, අමුත්තාට ඉදිරියෙන් ආරක්ෂක මුරයක් ගමන් කරනවා. ඔවුන් අනිවාර්යයෙන්ම වර්ණ ධජ වලට ආචාර කරනවා. ඒ බව අමුත්තා විසින් කල්තබා මතකයේ රඳවා ගන්නේ නම්, ඒ මුරය ආචාර කල පසු, තමන්ටද ආචාර කිරීම කළහැකි වෙනවා. 


   මෑතකදී, අපේ ජනාධිපතිතුමා, ජර්මනියේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී, මෙවැනි අත්වැරදීමක් සිදුවුණා. එතුමා, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මැතිණිය සමග, එරට හමුදාව විසින් පිරිනැමුණු සම්මාන පෙළපාලිය නිරීක්‍ෂණය කිරීමේදී, ධජයට ආචාර කිරීම අමතක වුණා. නමුත්, ඇන්ජලා මර්කල් මැතිණිය, එය මතක් කර දී, එම අතපසුවීම නිවැරදි කළා. මේ තියෙන්නේ ඒ වීඩියෝව. ඇත්තෙන්ම මෙය සිනහවට කරුණක් නොවේ. කුමන ජනාධිපති වරයාට වුනත්, මෙවැන්නක් සිදුවිය හැකියි. අර ජනාධිපති උපදේශක උන්නැහේලා, මෙවැනි සිදුවීම් වල වගකීම භාරගත යුතුයි. 


   පෙළපාලිය නිරීක්‍ෂණය කොට, ආපසු පීඨිකාව වෙත පැමිණෙන අමුත්තා වෙත, නැවතත් උතතමාචාරයක් පුද කිරීමෙන් පසු, අමුත්තා එතනින් ඉවත්ව යනවා. පෙළපාලිය විසිරී යනවා. මේ තමයි, සම්මාන මුරයක සරල විස්තරය. තවත් පෙළපාලි ගැන, ඊළඟ ලිපියේදී සාකච්ඡා කරමු. 

2016 මාර්තු මස 19 වැනි දින 0025 පැය


.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }