03 November 2017
පියෙකුගෙ කඳුළු මුතුකැට වුණි දරුකමට
ඉන්පසු මගේ පියා ඔවුන් දෙදෙනා කැටුව ඔවුන්ගේ දෙමවුපියන් සිටින කඳවුරට ගොස් ඔවුන් වාහනයේ රඳවා දරුවන්ගේ දෙමවුපියන් දෙදෙනා කඳවුරෙන් පිටතට ගෙන්වා ළමයින්ට දර්ශනය වීමට සලස්වා ඔවුන්ගෙන් අර සිටින්නේ තම දෙමවුපියන් ද යන්න හඳුනාගන්නා ලෙස පැවසීය . එවිට ඔවුන් පවසා සිටියේ ඒ තම දෙමවුපියන් බවයි. ඉන්පසු වාහනයේ දොර විවෘත කර ඔවුන් දෙදෙනාට ඔවුන් ලඟට යනලෙස මගේ පියා පවසා ඇත.
28 October 2017
බයිසිකල් රේස් එක
මගේ පියා හොඳ ගුරුවරයෙක් නිසාම ඔහු සතු දැනුම අපට ලබාදෙන්නට නිතරම කටයුතු කළා. ඒ වගේම එය නිවැරදිව හා සදාකාලික මතකයේ රැඳෙන අයුරින් උගන්වන්නට ඔහුට සහජ දක්ෂතාවයක් තිබුණා.
පාදපරිචාරිකාව
දිනක් අප සියලුදෙනා නිවසේ සිටින අවස්තාවක එවකට මා පාසලේ 7 ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන කාලයේ එකවිටම මගේ පියා මගෙන් ඇසුවේමගේ පියා - පාදපරිචාරිකාව කියන්නේ මොකක්ද දන්නවද ?
මම - අනේ මං දන්නෑ......
මගේ පියා - ඇයි ළමයෝ.......... බයිසිකල් රේස් එක කියන්නේ ඒකට තමයි.
මම - අනේ යන්ඩ බොරු නොකියා ( ඔහු කියූ විලාශයෙන් හා ස්වරයෙන් මා දන්නවා එය බොරු කියලා)
බයිසිකල් රේස් ඉතින් හරි
( ඔය අතර මගේ මව දැන් හිනාවෙනවා. ඊට පස්සේ අපේ අම්ම කීව අනේ ඔය ළමයට කෝළන් කරන්නැතුව හරි තේරුම කියන්න කියලා )
මම - අනේ.... තාත්තේ ඇත්තටම මොකක්ද තේරුම කියලා මම ඇහුවා. මොකද ඒ වෙනකන් මම ඒ වචනේ අහලා නොතිබ්බ නිසා
මගේ පියා - හරි එහෙනම් මෙන්න හරි තේරුම හොඳට මතක තියාගන්න .
පාදපරිචාරිකාව කියන්නේ - භාර්යාව කියලා
පාළහ
තවත් දිනයක අපි සියලු දෙනා මාතර ප්‍රදේශයේ චාරිකාවක් ගියෙමු. ඒ මගේ ප්‍රථම මාතර සංචාරයයි. පොල්ගහවෙලින් රැජිණ දුම්රියේ මාතරට ගමන් කළ අතර , දුම්රියෙන් බැස පිටතට පැමිණි වහාම දර්ශනය වූයේ බක්කි කරත්තයි. ජීවිතයේ සියසින් බක්කි කරත්ත දුටුවේ එදිනය. ඊට පෙර රූපවාහිනියේ බක්කි කරත්ත දැක තිබුණි. බක්කි කරත්ත වලින් දුම්රියපොළේ සිට කුළි රථ සේවයක් තිබුණි . එම බක්කි කරත්ත කරුවන් අමුතු වචනයක් කියමින් කෑගසනවා මට ඇසුණි.
කුලී රථ හිමියන් - පාළහයි. පාළහයි . එන්න එන්න මහත්තයා පාළහයි.
මම - ( සිතින් කලපනා කරන්නේ මොකක්ද මේ කියන්නේ කියාය ) තාත්තේ....... මොකක්ද? අර මිනිස්සු කියන්නේ මට තේරෙන්නෑ..........
මගේ පියා - ආ............ දැන් තේරුනාද වෙනස දැන් මේ අපි ඉන්නේ මාතර. මේ පැත්තේ අය කතාකරන විදිහ ටිකක් වෙනස්. ඒකට අපි කියන්නේ ප්‍රාදේශීය ව්‍යවහාර කියලා ...........
දැන් ඔය කියන්නේ
පාළහ - ඒ කියන්නේ පහළව
අර බක්කි කරත්තේ යන්න අය කරන ගාණ තමයි ඒ කියන්නේ ( පුදුම නොවන්න. මං මේ කියන්නේ 1992 සිද්ධියක් පිලිබඳවය. )
සකඳ මලයි - බබළු වැලයි
මෙය නම් මගේ පියා විසින් කියාදෙන ලද්දක් නොවන අතර , මෙය වචනාර්ථයක් නොව උපමාවකි. මා මෙය ඉගෙන ගත්තේ මගේ ගුරුතුමෙකු වූ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙනි. ඔහු විසින් ආදී මානවයා හා ඔවුන්ගේ පැරණි තාක්ෂණය පිලිබඳ දේශනයකදී මෙම උපාමව ගෙන හැර පෑවේය. ඔහු පැවසූ ලෙසට මේ උපාමාව භාවිතා කරන්නේ හොඳ පෑහීමක් පිලිබඳ කියනවිටය. අපේ පැරැන්ණන් මගුල් ගෙවල් වලදී මනාල යුවල විවාහ ජීවිතය ගතකළ යුත්තේ කෙසේදැයි විග්රහ කිරීමට මේ උපමාව යොදාගත් බව පැවසෙනවා.
මෙහිදී සකඳ මල කියන්නේ ඔබ දැක ඇති පොල් අතු හා උළු වහල සහිත ගෙවල්වල වහලයේ මුදුනෙන් ගෙයට වැටෙන ආලෝක ධාරාවය. එය හොඳින් පෙනෙන්නේ අඳුරු තැන්වලදීය. එම ආලෝක ධාරාව පහළට වැටෙද්දී එම ආලෝක ධාරාව ඇතුළත විවිධ මෝස්තර දර්ශනය වේ.එය බබළු වැල ලෙස හඳුන්වනු ලබයි.
23 October 2017
නෑ සර් මං කොලේට පිම්බා
මේ කතාවේ නම් අපේ විචාරකතුමා නෑ. මගේ පාසලේ අත්දැකීමක්. පසුගිය දවසක අන්තර්ජාලයේ තිබුණා පිනා කියලා ප්‍රින්සිපල්ට කිවුවා කියලා විද්‍යාලයක ප්‍රින්සිපල් කෙනෙක් පැය 4ක් ළමයින්ට දඬුවම් කළ බව එය සවනට වකෙද්දී මට මෙය මතක් උණා. 2001 අවුරුද්දේ මා උසස් පෙළ කරද්දී තමයි මෙය සිදුවුණේ.
එවකට මම 12 වසර කලා බි පංතියේ ඉගෙනුම ලැබුවෙමි. මගේ හොඳම යෙහෙළිය වූයේ ධනුෂ්කාය. අගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව අපේ පාසලේ සිංහල ගුරුවරියක් වූවාය. මගේ කතාවේ කතා නායිකාව ඇයයි . මිශ්‍ර පාසලක් වූ අපේ පාසල පැරණි මධ්‍ය විද්‍යාලවලින් එකකි. සුන්දර පරිසරයකින් පිහිටි මෙය ඉතා අලංකාරය . අප විසින් අපේ විදුහල්පතිතුමාට දමා තිබූ නම "නැපෝලියන් " යන්නයි. එය කෙටි වූ විට කොල්ලන් කතා කරන්නේ "නැපා" කියාය. එයට හේතුව ඔහු වරදට දඬුවම් කරන්නේ හිත පිත් නැතිව අතර, ගුටි කන්නේ වරද කර එකා නොව වෙනත් අය වීමද විශේෂත්වයකි. හැබැයි පරම සත්‍ය නම් සියලු දෙනා ඔහුට බිය වීමයි . එය ගෞරවයට වඩා ගුටි කෑමට ඇති බියයි .
සිද්ධිය මෙසේය .
දිනක් දහවල් විවේක කාලය නිමවී සීනුව නාද විය. එහෙත් අපේ වර්ගයාට නම් එය ගානක් නොවිණි. තවමත් පන්තියේ තැන තැනත් කොරිඩෝවලත් කථාවේ ඉවරයක් නොතිබුණි. ප්‍රේම කථා, ලියුම් ගනුදෙනු , චන්ඩි කථා නිමක් නොමැත.( මං ඕවට නෑ. ඔය කාටත්වඩා මා මගේ පියාට බියෙන් කටයුතු කළ අයෙකි . ) අපේ පංතියේ අය වෙනත් වෙනත් පංතිවලය. වෙනත් අය අපේ පංතියේය. විදුහල්පතිතුමාගේ කාර්යාලයට යාබදව පිහිටි අපේ ගොඩනැගිල්ලේ පන්ති කාමර 5 ක් තිබූ අතර එය ආරම්භ වන්නේ පාසලේ පිහිටි දන්ත ශල්යාගාරයෙනි. විදුහල්පති කාමරයේ සිට දිගු කොරිඩෝවක් හා පඩි පෙලකින් මෙය එකිනෙක සම්බන්ධ වේ . එම අවස්ථාවේ අපට තිබුනේ ඉතිහාසය විෂය වුවත් විෂය භාර ගුරුතුමිය එදින පැමිණ නොතිබුණි. එය අපි දැන සිටියෙමු. විවේක කාලය නිමවී විනාඩි 5 ක් පමණ ගතවී තිබුනත් එම පන්ති පහේ ගුරුවරුන්ගෙන් පැමිණ සිටියේ එක ගුරුවරියක පමණි . එයට හේතුව ගුරු විවේකාගාරය හා අපේ පංති අතර යම් දුර ප්‍රමාණයක් තිබීමයි.
කෙසේ වෙතත් පංති හතරක කොල්ලො කෙල්ලන්ගේ ශබ්දය විදුහල්පතිතුමා හෙවත් අපේ නැපාතුමා එළියට බැස්සවීමට සමත් විය. ඔහු කාර්යාලයෙන් පිටතට පැමිණි විට අපේ පංති සමූහයට හොඳින් දර්ශනය වේ . එකෙනෙහිම කොල්ලෝ ටික නැපා එනවා බං කියා දුවගොස් පංතියේ වාඩිවුණි. එය සිනහ උපදවන්නේ පංතියේ පිරිමි හා ගැහැණු ළමුන්ගෙන් ඇතැම් දෙනා අපේ පංතියේ නොව පිට පංතිවල අයය . අපේ පංතියේ වුන් අතුරුදහන්වෙලාය . කෙසේ වෙතත් හෙමින් හෙමින් පියවර තබමින් නැපාතුමා අප පන්ති දෙසට පැමිණෙන බව දුටහ. මේ වනවිට මුළු ගොඩනැගිල්ලම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දය.කට හඬ ඇසෙන්නේ ගුරුවරිය සිටින පංතියේ ඇය උගන්වන හඬයි.
සෙමෙන් සෙමෙන් අපේ පන්ති කාමරයේ කොරිඩෝව අසළින් ගමන් කරද්දී කිසිවෙකුත් නොසිතූ පරිදි මා අසළ සිටි මගේ මිතුරිය උරුවම් බෑවාය. මගේ සියොලඟම වෙවුලා ගිය අතර මම අතින් ඇගේ වැලමිටට පහර දුන්නෙමි. එකෙනෙහිම විදුහල්පතිතුමාගේ දැඩි අවදානය පංතියට යොමු වුවත් එය පහව ගියේ ඇය උරුවම් බෑම නැවත්වූ නිසාය. එහෙත් විදුහල්පතිතුමා තවම අපේ පංතිය අසලින් ගමන් කරමින් සිටියේය. එකෙණෙහිම ඇය නැවත වරක් ශබ්ද නගිමින් උරුවම් බෑවාය. විදුහල්පතිතුමා ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි . අපේ කොරිඩෝවට යාබදව සිටියේ පිරිමි ළමුන්ය . විදුහල්පතිතුමාගේ කෝපයෙන් දිලිසෙන නෙත් සඟල දුටුවිට මට ඉහිලුම් නැතිවිය.( හොඳට හෝ නරකට මා පංතියේ නායිකාව විය.)
පිරිමි ළමුන් දෙසට නෙත් යොමු කල ඔහු එක්වරම මහා හඩින් කෑ ගසන ලදී .
විදුහල්පතිතුමා - නැගිටපල්ලා ඔක්කොම
පිරිමි ළමයි - සියලුදෙනා නැගිටුණ අතර ඔවුන් අප දස බලා රවන්නට පටන් ගත්තේ තොපි හින්දා අද කන්න වෙනවා යන හැගීමෙනි .
විදුහල්පතිතුමා - මොකාද ? දැන් උරුවම් බෑවේ ...........................
පිරිමි ළමයි - ( අප දෙස බලමින් ඔරවමින් හා රවමින් ) සර් ... අපි නෙවෙයි සර් ...
මේ සිදුවීම යන අතර මා මගේ යෙහෙළියට පැවසුවේ ඔයා වරද බාර ගන්න නැත්තන් අද කොල්ලෝ ඔක්කොම ගුටි කන බව ෂුවර් කියාය. අනෙක් ගැහැණු ළමයින් ද එය අනුමත කළහ.
විදුහල්පතිතුමා - අපි නෙවෙයි .... අපි නෙවෙයි නම් කවුද යකෝ ...........
ඒ අවස්ථාවේ අපි සියලු දෙනා පුදුමයට පත් කරමින් මගේ යෙහෙළිය පංතිය ඉදිරියට ගියාය .
ධනුෂ්කා - සර් .................. සර්...........
විදුහල්පතිතුමා - (රළු ස්වරයෙන් ) ඔව් මොකද ?
ධනුෂ්කා - ඇය අතේ හාෆ් ෂීට් කොලයක් රෝල්කරගෙන සිටියාය . ඊලඟට ඇය කියා සිටියේ පුදුම හේතුවකි .
සර් ....සර් ............ මං උරුවම් බෑවේ නෑ සර් මං මේ කොලේට පිම්බා
ම්....අදට සමාව දෙනවා . ආයේ අහුවෙන්න එපා .............
විදුහපතිවරයා පවසන ලදී . විදුහල්පතිවරයාගේ කෝපය හමාරවී ඔහු සිනාවුන අතර එකෙනෙහිම මුළු ගොඩනැගිල්ලේම ළමයින්ගේ සිනහව රැවුදුණි.
විචාරක දියණිය 7.30 පැයට
15 October 2017
සිහිනෙන් ඇවිදීම හා වෙරි හිඳීම
පියා අහිමිවීමේ ප්‍රතිඵලයක් ලෙස මට සිදුවූ පළමු ඇබැද්දිය පසුගිය 25 අළුයම සිදුවිය. එනම් රාජකාරියට යාමට නිවස ඉදිරිපිට පාර මාරුවීමේදී මෝටර් බයිසිකලයක ගැටීමය. දින දෙකක් රෝහල් ගත වීමෙන් පසුව අතපය නොකැඩුනත් සිදුවුණු තැලීම් සීරීම් හමුවේ තරමක් සුවය ලබන්නේ දැන්ය. එදවස ඔහු මා මෝටර් රථයෙන් දුම්රිය පොළට ගෙනයන අතර එතැන් සිට රාජකාරී ස්ථානයට යනතුරු දුරකථන ඇමතුම් 3ක් වත් ලබාදෙයි . ගිය බවද ඔහුට නොකීවහොත් උදෑසන 9.00 පමණ වන විට නැවත ගනී . ඔහු ගියදා පටන් මා දිනපතා මව සමග පාරට ගොස් බසයෙන් හා දුම්රියෙන් රාජාකාරියට වාර්තා කරයි. මෙම අනතුර සිදුවූයේ එබැවිණි.
පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ ................................
අද කථාන්දරය මෙසේ අරඹමි.
යුධ හමුදා කඳවුර නුවරඑළිය
මගේ පියා යුධ හමුදා සේවයේ යෙදී සිටියේ ඔහුගේ මවු ඒකකය වූයේ 3 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි. මෙම රෙජිමේන්තු මූලස්ථානය පිහිටියේ සුන්දර නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉස්මත්තේය . එම නිසා එය රමණීය ස්ථානයක් විය. මෙහි ඇති තවත් සුවිශේෂී කරුණ වන්නේ මෙම ස්ථානය හා ගොඩනැගිල්ල ඉංග්‍රීසි පාලන සමයේ එවකට ලංකාවේ වතුඅධිකරිවරුන් හා බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ළමයින් ඉගෙනගත් පාසලක් වීමයි. එම නිසා එය "හිල් ස්කූල් " නමින් හඳුන්වයි.
මෙම හමුදා කදවුරට ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස පැමිණ උප අණදෙන නිලධාරියෙකු වනතුරු තම මවු ඒකකයේ ඔහු සේවය කළේය . කෙසේ වෙතත් එහි ඇති නිලධාරී නිවස්නය හා කඳවුර ඉදිරිපිට ඇති රෝස උද්‍යානය එයට ෙප්‍රෘඩතත්වය එක්කරන ලදී . එම රෝස උයන නුවරඑළියේ වසන්ත සැණකෙළියට සමගාමීව පවත්වන රාජ්‍ය සේවා ගෙවතු තරඟය සඳහා සෑම වර්ෂයකම තරඟ කරන අතර ජයග්‍රහණ ද ලබා ගනී.
හරි දැන් අටුවා ටීකා ඇති කතාවට එන්ටර් වෙමුකෝ .....................
මේ නිලධාරී නිවස්නයේ විවිධ හේතූන් පදනම් කරගනිමින් සාද පවත්වනු ලබයි. නිලධාරීන්ගේ විශ්‍රාම ගැනීම් , උසස්වීම්, සංවත්සර ආදිය ප්‍රධාන වේ . එහිදී නිලධාරීන්ගේ පවුල්වල අයටද ඒවාට සහභාගී වීමට අවස්ථාව හිමිවේ. මෙයත් එවැනි අවස්ථාවකි . එවැනි අවස්ථාවක් එනතුරු මමත් නංගීත් බලා සිටින්නේ ඇත්තටම නුවරඑළියේ යාම හා ඇවිදීම අතිශය ප්‍රිය උපදවන කටයුත්තක් නිසාය. කෙසේ වෙතත් දිනක් එවැනි සාදයකට යාමේ අදහසින් අපි නුවරඑළියේ ගියෙමු .
රෝස උයනේ මගේ පියා සමග නංගියි මමයි
එදින සවස පැවති උත්සවය සඳහා උදෑසන පිටත් වූ අපි දහවල් වනවිට කඳවුරට ලඟාවුනෙමු . උත්සවය නිමවන්නේ පසුදා අළුයම බව දන්නා නිසාම ( මධ්‍යසාර නැති උත්සව හමුදාවේ නැතිනිසා ) නවතින්නට පැමිණෙන බව කල්තියා පියා විසින් දැනුම් දී තිබුණි. ඒ අනුව මහල් දෙකකින් යුත් නිලධාරී නිවස්නයේ දෙවන මහලේ කෙලවරේ පිහිටි කාමරයක් අපට ලැබුණි . මදි නොකියන්න සීතලද තිබුණි. මේ කාමරයට පැමිණිමේදී හැඩයට බැසිය යුතු සිමෙන්ති තරප්පු පෙළක් නැගීමෙන් අනතුරුව විශාල කොරිඩෝවක් පසුකර යුතු අතර කොරිඩෝව අවසානයේ පොඩි ලොබියක් තිබේ . එම ලොබියේ දකුණු පසින් කාමර දෙකක් තිබෙන අතර පළමු කාමරය අපගේ විය. මා මෙය පැවසුවේ කථාවේ ඉදිරියට එය අවැසි බැවිනි . කෙසේ වෙතත් පළමු මහලේ ( OFFICER'S MESS ) හිදී උත්සවය පටන් ගත් අතර අප වැනි තවත් පවුල් කීපයක් ද නිලධාරීන් තනිවම ද උත්සවයට සහභාගී වූහ. නැටුම් ගැයුම් වැයුම් මැද මධ්‍යම රාත්‍රිය එළඹි අතර ඒ වනතුරුත් නිලධාරීන් කිසිවෙක් ආහාර ගෙන නොතිබුණි. කාන්තාවන් හා දරුවන් පමණක් අහාර ගෙන සිටි අතර , ළමයින් එකා දෙන්නා උකුල් උඩ නිදියද්දී කාන්තාවන්ට උත්සවය නිමා කළ හැකි බව පවසා අපි සියලු දෙනාම එතනින් පිටවී අදාළ කාමර කරා පැමිණියහ.
විවිධ උත්සව අවස්ථාවල ලබාගත් ඡායාරූප
එහෙත් මගේ පියා ඇතුළු ඔහුගේ මිතුරන් මධුවිත තොලගාමින් තවදුරටත් රැඳී සිටියහ.( එකල එයට කිසිවක් කිවනොහැක්කේ සැමදා කැලයක දිවිගෙවන ඔවුන්ට සතුටු වීමට අවස්වථාක් සපයා දුන්නේ එවැනි උත්සවයක් පමණක් වීමය. ) කෙසේ වෙතත් මගේ පියා එදින කාමරයට පැමිණි වෙලාව මා දන්නේ නැත. අධික සීතල පවතී බැවින් ජර්සියක් හා බ්ලැන්කට්ටුවක් පෙරවා සිටියද සීතල අධික විය . එම නිසා නින්ද කඩින් කඩ සිදුවිය. මා තනි ඇඳකත් අම්ම තාත්තා හා නංගි තවත් ඇඳකත් නිදියන ලදී. වරක් බලන විට තාත්තා පැමිණ ඇතිබව දක්නට ලැබුණි. ඉන්පසු අනෙක් පසට හැරීනිදාගත් අතර එකවරම සිහිනෙන් මෙන් දුටුවේ කාමරේ දොර කවුරුන් හෝ විවර කරගෙන එළියට ගිය බවයි. තවත් නිමේෂයක් ගතවෙද්දී අපේ අම්මා මහා හඬ දී කෑ ගැසුවේ ළමයා නෑ අනේ නැගිටින්නකෝ ළමයා නෑ යනුවෙනි . මා එකවර නැගිට කාමරයේ ලයිට් දැමූ අතර තාත්තා විදුලි වේගයෙන් දිව ගියේය . අම්මගේ කෑගැහිල්ලට අසළ කාමරයේ තාත්තගේ මිතුරන් දෙන්නෙකු ද පැමිණි අතර සුළු වෙලාවකට පසු තාත්තා නංගි හරහට වඩාගෙන පැමිණි අතර ඇය නින්දේ පසුවිය. මගේ පියා පැවසූ පරිදි ඔහුට ඇයව හමුවී තිබුනේ පහල මාලයේ සාදය තිබුණු විශාල ආලින්දයේ දොර ළඟදී බවයි . ඇයව තාත්තා හුරතලයට කතා කලේ "බබ්බා" යනුවෙනි . එසේ කතාකලත් ඇය නින්දේ පසුවූ බව පවසයි .
කාන්තාව සිටගෙන සිටින්නේ ආලින්දයේ දොර ළඟය
මගේ පියා සිටින්නේ තරප්පු පෙළ පාමුලය
මේ සිදුවීම වනවිට පාන්දර 3.00 පමණ වී තිබූ අතර කරදරයක් වූ නැතිහෙයින් සියලු දෙනා පසුව නිදා ගැනුණි. පසුදා උදයේ අපේ කාමරයට සියලු දෙනා නැගණිය බැලීමට පැමිණි අතර , ඇයට කිසිවක් මතක නොතිබුණි . වෙරි මතින් නිදාගත් මගේ පියාගේ වෙරි හිදුන බව සියලු දෙනා හිනා ගස්වමින් ඔහු ප්‍රකාශ කළේය . එවකට මගේ නැගණියට අවු 10 ක් පමණ වූ අතර ජීවිත කාලයටම සිහිනෙන් ඇවිද ගිය පළමු හා අවසාන අවස්ථාව මෙය විය .
එම සිදුවීම සිදුවී මාස කීපයක් ගිය පසු එම උත්සවයට නොපැමිණි මගේ පියාගේ යාලුවෙක් පවසා ඇත්තේ එම කාමරයෙදීම වෙනත් දවසකදී ඔහුද එවැනි අත්දැකීමකට මුහුණ දුන් බවයි.
විචාරක දියණිය පස්වරු 16.00 පැයට
07 October 2017
තාවකාලික සමු ගැනීම
සති දෙකකට පෙර සිදුවූ රිය අනතුරක් නිසා ඇතිවූ අබාධ හේතුවෙන්
අසමි දකිමි සොයමි තාවකාලිකව නතර වූ බව මින් දන්වමි .
විචාරක දියණිය
23 September 2017
අලිමංකඩ පසුබැසීම හා කැලෑ උණ
එය 1998 වසර විය. මා එවකට 10 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි. එවකට මගේ පියා වවුනියාවේ සේවය කළ අතර, ඔහු අණදෙන නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන ලදී . ඔහුගේ නිලයට එවකට ඔහුට නවීනතම කැබ් රථයක් ලබාදී තිබුණි. එකල ඉදිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබුණි. දහවල් කාලයේ කඳවුරුවල රැඳී සිටියද රාත්‍රියට සියලු දෙනා කැලෑවේ බංකර තුළ දිවි ගෙවුහ. එදිනද එවන් එක් රැයක් විය. පසුදා අළුයම ඔහුට අනුරාධපුරයේ රැස්වීමකට යාමට සිදුව තිබුණි. එම නිසා ඔහු කැබ් රථය වෙනදා තබන ස්ථානයේ නොව කැලය තුළට ගෙන්වා ගත්තේය. ඒ පසුදා අළුයමින්ම යායුතු වූ බැවිනි.
සියල්ල කණපිට පෙරළීමට ගත වූයේ නිමේෂයකි. දිලිසෙන වෙඩි වරුසාවක්තඋතුරු අහසේ ලෙළ දෙන්නට විය . එකෙනෙහිම කාලතුවක්කු මෝටාර් ප්‍රහාර දසත ගිගුම් දෙන්නට විය. ත්රස්තවාදීහු අඳුරු රැයේ අලිමංකඩ හමුදා කඳවුරේ වතුර ළිං අත්පත් කරගනිමින් සිටියහ. ඒ විජලනය ඇතිකරමින් අප හමුදා අඩපණ කොට අලිමංකඩ යලිත් ඔවුන් සතුකරගන්නටය. ඒ රැය ඔවුන්ට ජයග්රහණයද අප හමුදා විරුවන්ට මරණයද උරුමකර දුන්හ . බොහෝ සෙබළු විජලනය හේතුවෙන් මිය ගියහ. පසුදා උදෑසන වනවිට තත්වය තවත් දරුණු කරමින් අහසින් හෝ මුහුදෙන් ලඟා විය නොහැකි පරිදි කඳවුර වටකොට තිබුණි. මුළු ඉදිරි ආරක්ෂක වළල්ලම පසුදා උදෑසන වනවිට පසු බැස තිබුණි . තවත් වරුවක් ගතවන විට ඔහුගේ බල සේනාධිපති ඔහුව අමතන ලදී .මේ වනවිට සියලු දෙනා පසුබසින බව මගේ පියාගේ සවනත වැකුණද මෙතරම් පසු බැස්මක් ඔහු අපේක්ෂා නොකළේය .
බලසේනාධිපතිතුමා - ගුනේ තවටික වෙලාවක් යනකොට ඔයා බැටෑලියන් එක අරන් ක්ලියර් කරගෙන පස්සට යන්න . ඔයාට හමුවෙන බැටෑලියන් ඔක්කොම එකතු කරගන්න.
මගේ පියා - සර් පස්සට යන්න.
බලසේනාධිපතිතුමා - ඔව් මම නැවත සනාත කරනවා. පස්සට යන්න.
තවත් සුළු මොහොතකින් අතට ගත හැකි සියල්ල එකතුකර ගනිමින් ඔවුන් වනය මැදින් ගමන් ආරම්භ කරන ලදී . එහි තිබූ ප්‍රධාන ගැටලුව නම් කවර පෙදෙසකට යායුතු දැයි නිශ්චය කරගත නොහැකි වීමයි එමෙන්ම දින කීයක් කවර පැයක් ගතවේවිදැයි කිව නොහැකි තත්වයක් උදාවී තිබුණි.
සියලු දෙනා ඉතා දුක්මුසු වුවත් විපරමින් සතුරා පිලිබඳ විමසිල්ලෙන් ගමන් ආරාම්භ කරන ලදී . මාර්ගයේ පයින් යාහැකිවූ නමුදු වාහනයක් ගෙනයා හැකි තත්වයක් නොතිබුණි. පුළුවන් තරමක් දුර කැබ් රථය වනය මැදින් ගෙන ආ අතර ඉන් එහාට යා යුත්තේ අඩි පාරක් ඔස්සේය. අකමැත්තෙන් හෝ කැබ් රථයට සමුදිය යුතුව තිබුණි. එහෙත් සතුරා අතට පත් වීමටද ඉඩ හැරිය නොහැකිය.
අවසානයේදී කැබ් රථය නතර කර එහි පෙට්‍රල් ටැංකියට වෙඩිතබා එය පුපුරවා විනාශ කරන ලදී. තමාගේ බෙල්ල මිරිකනවා වැනි හැඟුමකින් එය අවසන් කර ඔවුහු වනයේ ඉදිරියට ගමන් කරන ලදී. මගදී ඔවුන්ට තවත් එලෙස පසු බසින තවත් මගේ පියාගේ යහළුවෙකුගේ බෑටෑලියන් එකක් මුණ ගැසිණි. මේ වනවිට ඔවුන් දින දෙකකින් පමණ අහාර ගෙන නොතිබුණි. මගේ පියාගේ යහළුවා කීවේ ද ඔවුන්ද දින කිහිපයකින් අහාර නොගත් බවයි. මහා වන මැද ඔවුන් හැකි පමණින් බත් උයාගෙන අහාර ගෙන තිබුණි. මේ වනවිට අප නිවසට යම් පණිවිඩ ඔහු ද මගේ පියාගේ මළනුවන් ද අපට දන්වා තිබුණි. එකම සැනසිල්ල වූයේ ඔහු පසු බැස හෝ ජීවත්වීමය.
තවත් සතියක් පමණ ගතවනවිට සියල්ල තරමක් සමථයට පත්වූ අතර , ඔහු නිවාඩු ලබා ගෙදර පැමිණියේය . එහෙත් ඔහු ඉතා දුකට හා මහන්සියට පත්වසිටි නිසා අපි කිසිවක් නොඇසුවෙමු. ඔහුගේ කැබ් රථයේ රියදුරා වූ සාජන් ගුණපාල පොඩි දරුවෙකු සේ අඩා වැටුණි. තවත් දවසක් ගතවන විට මගේ පියාට අධික උණ තත්වයක් ඇතිවූ අතර ගැහෙන තත්වයටද උණ විකාරයෙන් දොඩන තත්වයටද පත්විය. අධික බියට පත් අප සිතුවේ කැලෑවේ සති ගාණක් සිටි නිසා කැලෑ උණ හෙවත් මැලේරියාව සැදී ඇති බවයි . කෙසේ වෙතත් යුධ හමුදා රෝහලට ඇතුළත් කළ පසු දැනගන්නට ලැබුණේ ඔහුගේ පිත්තාශයේ ගල් සෑදීම නිසා පිත්තාශය ඉවත් කළයුතු බවයි. දීර්ඝ කාලයක් කිවුල් වතුර බීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මේ තත්වය ඇතිවී තිබුණි .
පහතින් ඔබට එම කැබ් රථයේ ඡායාරූපයක් දැකිය හැකියි. එහි මැද සිටින්නේ මගේ පියා වන අතර , දකුණු පසින් සාජන් ගුණපාලත් වම් පසින් උප අණදෙන නිලධාරී මේජර් ප්‍රසන්න ලියනගේත් සිටිති .
විචාරක දියණිය 00.20 පැයට
15 September 2017
යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කථාවක් 2
නැවතුණු තැනින් ................
එදා උදේ මගේ මව මට පැවසුවේ ඇයට අත්‍යවශ්‍ය රාජකාරී කීපයක් සඳහා ස්ථාන කීපයකටම යාමට තියන බවයි , ඒ නිසා මට සිදුවුනා ඒ සෑම තැනකටම කතා කරන්න . විශේෂයෙන්ම කොට්ඨාස කාර්යාලයට හා කලාප කාර්යාලයට මේ ස්ථාන දෙකෙන්ම මට ලැබුණු පිළිතුර වුනේ ඇයව උදෑසන දුටු නමුත් මේ වෙලාවේ ඇය එම ස්ථානයේ නොමැති බවයි . අවසානේ මම අවසාන ඇමතුම ලෙස රුවන්වැල්ල රාජසිංහ මාධ්‍ය විද්‍යාලයේ විදුහල්පති තුමාව ඇමතුවා.
ඔහු තමයි එදා මට අස්වැසිල්ල සපයන පිළිතුර දුන්නේ. මේ තමයි එදා දුරකතන සංවාදය
මම - සර් මම ............................................. දුව කතා කරන්නේ
විදුහල්පති - ඔව් දරුවෝ කියන්න. මොකක්ද ප්‍රශ්නේ?
මම - සර් අම්මව අද ඉස්කෝලෙදි දැක්කද ?
විදුහල්පති - ඔව් අද උදේ මම දැක්ක. කලාපෙට යනවා කියලත් කිවුවා . ඇයි මොකක්ද ප්‍රශ්නේ ?
මම - සර් මෙහෙ බස් එකක් ගිනි අරන්. මං හිතුවේ අම්මා එකේ හිටියා කියලා . අනේ සර් අම්මා ආයේ ඉස්කෝලෙට ආවොත් මට කතා කරන්න කියන්න .
විදුහල්පති - හරි හරි මම පණිවිඩේ ඉක්මණටම කොහොම හරි දෙන්නම්.
මම - බොහොම ස්තූතියි සර්
මේ පණිවිඩය ලබා ගත් විගසම මම නැවත මගේ පියා ඇමතීය. ඒ වනවිට ඔහු පොල්ගහවෙල මෝචරිය ද රෝහලේ වාට්ටුද පිරික්සා තිබුණි. මම කීවේ ඒවා අනවශ්‍ය බවත් අම්මා රුවන්වල්ලට ගොස් ඇති බවට මට තොරතුරු ලැබුණු බව හා වහාම කතාකරන ලෙස දැන්වූ බවත්ය. ඒ නිසා ඔහු නැවත කඳවුරට ගොස්තිබුණි.
වෙලාව දහවල් 1. 00 පමණ වන්නට ඇත. මා බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම ලැබුණි .
ඒ මගේ මවය . ඇය ඉතාම බියට පත්වූ ස්වරයෙන් ඇසුවේ මා මෙතරම් බියට පත්වූ කාරණාවය . මා මොහොතකට ගොළුවිය. ඒ සමගම මගේ නෙත් දෙකෙන් නොනවත්වා කඳුළු කඩා වැටිණි . ඉන්පසු ඇය සමග විස්තරය කියා හැකි ඉක්මණින් මගේ පියාව ද අමතන ලෙස කීවාය. ඇය මා පවසන තුරු සිද්ධිය දැන නොසිටියාය. එමෙන්ම ඇය එදින උදෑසන 7. 00 වනවිට සිට ඇත්තේ වරකාපොළ නගරයේය. එදින සියල්ල යහපත් තත්වයට පත්වන විට සවස් කාලය එළඹිණි. මගේ මව බේරුනත් මියගිය අය වනුවෙන් අප තිදෙනාම ශෝක වූහ . තවත් සතියක් ගතවූ පසු මගේ පියා මවට ජංගම දුරකථනයක් රැගෙන දුන්නේය .
අදද එම ස්තානය පසු කරන විට මට එම සිදුවීම මතකයට නැගේ .
විචාරක දියණිය 23.00 පැයට
09 September 2017
යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කතාවක් 1
ඒ 2005 අවුරුද්දය. මගේ පියා සිය සේවා කාලයේ ක්‍රියාන්විත රාජකාරියෙන් බැහැරව සේවය කළ එක අවථාවක් විය . ඊට හේතුව පෙර වසරේ ඔහුගේ සහෝදරයා හා ඔහුගේ පුත්‍රයා සුනමියෙන් මියයාම නිසා ඇතිවූ චිත්ත පීඩාව හේතුකොටගෙන වැහැර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්තව සේවය කරන ලදී.
ඔබට මතක නම් ඒ මහා දුම්රිය අනතුර සිදුවූයේ මේ කාලයේය . එවකට මගේ මව රුවන්වැල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක වරියක ලෙස කටයුතු කළ අතර මාරුවීමක් ගත නොහැකි වූ හෙයින් ඇය දිනපතා සේවයට ගියේ නිවසේ සිටය . මේ දිනවල මා විශ්ව විද්යාලවරම් ලබසිටි අතර , ඒ සඳහා සූදානම්ව සිටියාය. එමෙන්ම මගේ ශරීර ස්වභාවය නිසා සෑම උදෑසනකම ජිම් එකට යාමට පුරුදුව සිටියාය. මේ කාලය වනවිට ජංගම දුරකතනයක් තිබුනේ මගේ පියාට පමණි .
සිද්දිය මෙසේය
සෑම උදේම මගේ මව උදෑසන 6 .00 ට පමණ සේවය සඳහා නිවසින් පිටවේ . ඇය රුවන්වැල්ල සඳහා යන්නේ වරකාපොල හරහාය. වරකාපොල නගරයට ඉක්මනින් පිවිසීමට ඇය විසින් දුර ගමන්සේවා බස්රථ භාවිතා කරයි. ඉතින් ඇතැම් දිනවල මා සමග පවසන පරිදි ඇය ගල්කිරියාගම බස්රථ වලද ගමන් කල බව කියයි .කෙසේ වෙතත් මෙදින උදෑසනද මවත් පියත් තම සේවයන් සඳහා නික්ම ගිය අතර මමද සුපුරුදු පරිදි ජිම් එකට ගියාය . එය අවසන් කර නගරයට පැමිණි මට අතොරක් නැතිව කුරුණෑගල නගරයෙන් ඇම්බියුලන්ස් හඬ ඇසෙන්නට පටන් ගත්තාය. කුමක් සිදුවී ඇත්ද යන්න සොයා ගැනීමට සිතුවත් ඒ සඳහා කිසිවෙකුත් නොසිටි අතර නිවසට යාම ඉක්මන් කල මම නගර මධ්‍යයෙන් බසයකට ගොඩවිය. එහිදී රියදුරු හා මිනිසෙක් කතාකරන දෙබස මගේ කන වැකිණි. එයින් ඇතිවූ බිය මට කවරදාවත් දනී නොතිබිණ
රියදුරු - කොහේ යන බස් එකක්ද ?
මගියා - ගල්කිරියාගම කොළඹ
රියදුරු - කීයටද වෙලා තියෙන්නේ
මගියා - 7.00 විතර තමා වෙලා තියෙන්නේ බස් එක ගිනි අරන් තුවාල කාරයෝ මළමිනීයි පොල්ගහවෙලයි කුරුනෑගල ඉස්පිරිතාලෙයි දෙකේම තියනවලු. කොච්ච්යට මුකුත් නෑලු . ගේට්ටුව වහලා තියෙද්දියි බස් එක දාල තියෙන්නේ .
ඒ වන විට බසය කුරුනෑගල රෝහල පසුකරමින් සිටියේය එතන එකම හිස් ගොඩකි සාමන්‍ය වාහන වලින්ද තුවාල කරුවන් රැගෙන එමින් තිබුණි මගේ දෙපා පන නැති තත්වයට පත්වී ආයේය. මගේ මවත් ඒ බසයේ සිටියාද ? ඇගේ තත්වය කුමක්ද ?ප්‍රශ්න පත්‍රයක් මා ඉදිරියේ දිග හැරිණ. සියල්ලටම ගෙදර යායුතු බව මට වැටහින. බසයෙන් බැස ගෙදර ගියේ කෙසේදැයි මට මතක නැත. ගියා නොව දිවුවාය . ස්ථාවර දුරකතනයෙන් මා පළමුව කතාකරේ මගේ පියාටය .
මම - තාත්තේ අම්මා මට කියාගත් හැකිවූයේ එපමණකි පියා - ඔහු මට ප්‍රථම ක්‍රියාත්මක වී තිබුණි . ඔහු සිද්දිය දැනගත් පසු කුරුනෑගල රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මිනී අතගා තිබුණි. ඔහු අඩමින් පැවසුවේ මම කුරුනෑගල ගිහින් බැලුවා. අම්ම කියලා අඳුරගන්න පුළුවන් කවුරුත් නෑ. මම මිණී ඔක්කොම බැලුවා. ඒවා පිච්චිලා. මම දැන් පොල්ගහවෙල යනවා ඔයා ගෙදරට වෙලා කොහොමහරි අම්මා රුවන්වැල්ලට ගියාද කියල බලන්න කියාය. මම රූපවාහිනියද ක්‍රියාත්මක කර ඉන්පසු බුදුන් වැන්දේ ආම්ම රැකදෙන ලෙසයි .
විචාරක දියණිය 16.05 පැයට
05 September 2017
ඒ ඔහුය
උපහාර
මිනිස් දිවියක අරුත කිම්දැයි
සොයන යුගයක පහළවූ
අපූරු මිනිසාණෙනි ...................
තම අඹුදරුවන්ගේ රැක්ම
මොහොතකට පරදුවට දමා
ජීවිතය යදින සිඟිති දියණියගේ
ඉටු දෙවියා වූ
නිශ්ශංක සිරිවර්ධන
අපේ කාලයේ වීරයාණෙනි..................
දිද්දෙණිය වත්ත 1 වන පියවර
එක්සත් සුභ සාධක සමිතියේ
සහෘද ජනතාව විසින්
ඉත සිතින් ඔබවෙත පිදෙන
හෘදයාංගම උපහාරයයි මේ ........................
මේ මගේ පියා විසින් ඔහුගේ සිතුවිලි එක්කොට නිර්මාණය කළ එකකි. මෙහි පසුබිම් කතාව 2012 වර්ෂය දක්වා දිවයයි . එවකට මගේ පියා විශ්‍රාම සුවයෙන් බ්ලොග් ලියන කාලයය. ඊට අමතර වැඩක් ලෙස ගමේ සමිතියේ ලේකම් තනතුර හෙබවීය.මගේ මව සිය සේවා කාලයේ අවසන් වසර ගෙවමින් සිටියාය. මගේ පියා එකළ ඔහුගේ කාලසටහන අනුව වැඩකරන කාලයකි උදැසන 6.00 ට පමණ අවදිවන ඔහු හේ පානයෙන් අනතුරුව පත්තර පිටුව බලා විශේෂ වැඩක් නොමැතිනම් උදෑසන 9.00 දක්වා කාලය ගතකරන්නේ බ්ලොග් ලෝකයත් සමගය. එදින සුපුරුදූ පරිදි එවැනි උදෑසනක් විය.
අපේ නිවසට ඉදිරිපිට නිවසේ සෑම විටම උන්නේ කුළි නිවසියන්ය. එය සෑම අවුරුදු 2 කට වරක් බදුදෙන නිවසකි. මෙවර පැමිණ සිටිය යුවළට අවුරුදු 3ක සිඟිති දියණියක් සිටි අතර , දියණියගේ පියා හෙවත් කපිල අයියා වාරයේ වැඩ කරන ලදී . ඒ නිසා ඔහු ඇතැම් දිනවල නිවසේ සිටියේ නැත. ඔහුගේ බිරිඳ හා ඇගේ අම්මා නිවසේ සිටි අතර බිරිඳ රැකියාවක් නොකළාය . එම දියණිය ඉතා දඟකාර වූ අතර මට සිතුන ලෙස කපිල අයියාගේ බිරිඳ තරමක් වගකීම් විරහිත කාන්තාවකි.
මෙදින උදැසන 7 .00 ට පමණ එම නිවස පිටුපසින් එක්වරම මහා විලාපයක් ඇසුණි. එවිටම මගේ පියා ළමයෝ අර ගෙදරින් නේද කෑ ගහන්නේ කියා මා අමතුවාය. විලාපයක් ඇසුනත් මා එක්වරම බිය වූයේ එය දෙමහල්ලන්ගේ රණ්ඩුවක් නම් එයට මැදිහත්විය නොහැකි නිසාය. මේ බව පියාටද කීවාය .තාත්තේ පොඩ්ඩක්මොකද කියල බලමු මා කීව පසු ඔහුද විමසිලිමත් විය.
ඉන්පසුව ඇහුණේ අනේ මගේ දරුවා ................ යනුවෙන් විලාප දෙන කටහඬයි එවර නම් තාත්තත් මමත් ඒ දෙසට දිවුවේ ළමයාට මොකුත් සිදුවී ඇතිබව තහවුරු වූ නිසාය . එකෙනෙහිම අපේ ගෙදර අනෙක්පස නිවසේ අයද දුව ආහ. සියලු දෙනා නිවසේ පිටුපසට දුවගෙන යනවිට දියණිය ලිඳ ඇතුලට වැටී නිශ්ශංක අයියාගේ උරමත සිටියි. දැන් මෙහෙයුම ළමයව එලෙසින්ම තබාගෙන නිශ්ශංක අයියාව ගොඩට ගැනීමය. කඹ දෙක තුනක් ලිඳට දැමුවත් ඒවා යේ එල්ලීමට නිශ්ශංක අයියට නොහැකිය . ලිඳේ ගැබුර වැඩිවීමත් උරේ ගානට තබාගෙන වතුර වලින් බේරාගෙන සිටින ළමයා නැවත වැටේවි යන බියෙන් එක අතකින් ළමයා අල්ලාගෙන ඔහු නොසෙල්මනව් සිටියේය. ඔහු යට යමින් උඩ එමින් කකුල් ගසමින් අපමණ වෙහෙසුනේය. ඉන්පසු දිග ඉනිමගක් ලිඳට දමා එහි ආධාරයෙන් ඔහුව ගොඩට ගන්නා ලදී ඔහු ගොඩට එනවිට සියලු කාන්තාවන්ට එලියට යනලෙස කීවේය. හේතුව සරම ලිදේය . මගේ පියා හා තවත් කීප දෙනෙකු ඉනිමග නොසෙල්වන සේ අල්ලා සිටියේය. ළමයා හා අයියා නිරුපද්‍රිතව ගොඩට ආවෝය.
ළමයාගේ මව අඩමින් දරුවා ඉඹින විට කාගේත් නෙතකට කඳුලක් ඉනුවේය.
සිද්ධිය වී ඇත්තේ මෙසේය ළමයාගේ මව රෙදි සෝදා වැල්වල වනමින් ඉඳ ඇත. ළමයා ඒ අසල සිට ඇති අතර , එම ලිඳ ගැඹුරු වුවත් ළිං ගැට්ට පාතය . ළමයාගේ අතේ බෝලයක් තිබී එය ලිඳට වැටී ඇති අතර ළමයා එය ගැනීමට ළිං ගැට්ටට නැග ඇත . එකෙහෙහිනම ළමය ලිදට වැටී ඇත. ඒ ශබ්දයට තමයි ළමයාගේ මව එදෙස බලා තිබෙන්නේ .ළමයා ඒ අසල සිටිනිසා අක්ක අනේ මගේ ළමයා කියා කෑ ගසා ඇත. නිශ්ශංක අයියගේ නිවස හා ඒ ළිඳ අතර ඇත්තේ මීටර් 10 කටත් අඩු දුරකි. ඔහු සංචාරක් නිමවී සිය නිවසට පැමිණ ( ඔහු හෝටල් සංස්ථාවේ සංචාරක මග පෙන්නනෙකු ලෙස කටයුතු කරයි . ) උදෑසන තේ පානය කරමින් කුස්සියේ සිට ඇත. ළමයා වැටෙන ශබ්ද ඔහුටද ඇසී ඇති අතර මොකක්ද කියා සිතන්නටත් පෙර විලාපය ඇසී දුව විත් බලන විට අම්මා ලිඳට පැනීමට දඟලන බව දැක ඇයව පසෙකට තල්ලුකර ඔහු ළමයා සිටිදෙසට විරුද්ධ දිසාවෙන් ලිඳට පැන සිය උරගිසින් ළමයා ඔසවාගෙන ඇත. නැතිනම් වතුර කැළඹී ළමයා අනිවාර්යයෙන් ගැඹුරට යන බව ඔහුගේ මතයයි. කෙසේ වෙතත් එතන සිටි සියලු දෙනා ඔහුට පින් දුන්නේය . ඔහු ද දරුවන් 3 කුගේ පියෙකි. එදා දවසම ඒ කතාන්දරය සඳහා වෙන් විය . දරුවාගේ පියා හවස පැමිණ සියලු දෙනාට පින් දුනි . ඊට දවස් දෙකකට පසු මගේ පියා මේක ලියා මට පෙන්වා මේ බලන්න මම මේක සමරු පලකයක් විදියට නිස්සංක අයියට දෙනවා කියලා මා සමග කිවුවා . ඔහු ඒක සංවත්සර උත්සවේදී පිරි නැමුවා. කපිල අයියලා ගෙදරින්ගියා .
විචාරක දියණිය 01.40 පැයට
31 August 2017
මුදල් ඇමතිතුමාගේ සංග්‍රහය
පසුගිය සති 2 ට තුන් වතාවක් මේ ලිපිය පලකිරීමට හැදුවත් එය සාර්ථක උනේ නෑ. ඉතින් මටත් තරහා ගිහින් වැඩේ ඇත ඇරියා. මේ උත්සාහය සාර්ථක උනොත් හරි .
මේ දවස්වල මුදල් ඇමතිවරු ගැන වැඩිපුර සඳහන් වන නිසා මටත් හිතුනා 1960 දශකයේ මුදල් ඇමති කෙනෙක් ගැන ලියන්න. ඔහු තමයි ආචාර්ය එන්. එම්. පෙරේරා. මේ සිදුවීමට මගේ පියත් සම්බන්ධයි .
එවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ. මේ විද්‍යාලයේ පිටටනිය මැද්දෙන් අඩිපාරක් තිබෙන අතර එම අඩිපාර කෙළවර වන්නේ කැළණි ගඟෙන් . පිට්ටනිය කෙළවරේදී මේ ආදී පාර ගුරු පාරක් බවට පත්වෙනවා මේ පාරෙන් මිනිස්සු පිට්ටනිය කෙලවරේ ඇති තාම නිවාස වලටත් කැළණි ගඟින් අනෙක්පස තිබුණු ගම්මාන වලට යාමටත් භාවිතා කළා.
ආචාර්ය එන්. එම්. පෙරේරා වාසය කළ රතු වලව්ව නමින් හැඳින්වුණු නිවස පිහිටියේ විද්‍යාලය ඉදිරිපිට පාරේ අනෙක් පසින් ( මෙය තවමත් පවතිනවා ) ඉතින් මේ තමයි කතාවේ පසුබිම
අදාළ සිද්දිය මෙසේයි .
දිනක් පාසල නිමවී මගේ පියා සිය ඛණ්ඩය පිට්ටනියේ පුහුණුවීම්වල යොදවමින් සිට තිබෙනවා. ඒ අතරතුර මගේ පියා දැක තිබෙනවා පිට්ටනියේ ඇත කෙලවරින් තුවායකුත් කරේ දමාගෙන දියනෑමට පැමිණෙන මුදල් ඇමතිතුමාව ඔහුගේ පිටුපසින් සබන් කෑල්ලක් හා බාල්දියක් අතින් ගත් සේවකයෙක් පැමිණ තිබෙනවා . කෙසේ උනත් මේ ඇමතිවරයෙක් නිසා නිසි ගෞරව දැක්විය යුතුනිසා මගේ පියා ඒ අවස්ථාවේ ඛණ්ඩයට විධාන කරනවා .
මගේ පියා - ඛණ්ඩය කල්බැලීම නවාතන් , ඛණ්ඩය සීරුවේින් සිටින්
මුදල් ඇමති තුමා - ඉලන්දාරියා මොකටද මේ පුහුණුවීම් ?
මගේ පියා - සර්, ලබන සතියේ රන්ටැඹේ යන්න .
මුදල් ඇමතිතුමා - ම්........... මෙතන කීදෙක් දැන් ඉන්නවද ?
මගේ පියා - 25 යි සර් .
එකෙනෙහිම ඔහු විසින් තම සේවකයාගේ කණටකර යමක් පවසා ඔහුව නැවත නිවසට පිටත් කොට ඔහුළඟ තිබූ බාල්දියද රැගෙන ඇමතිතුමා දිය නෑමට ගොස් තිබුණි. මගේ පියාද සුපුරුදු පරිදි ෆුනුවීම් යලි ආරම්භ කර තිබුණි. මද වීලාවක් ගිය පසු එතනට පැමිණියේ එව්වකට එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් ව පවතී සිසිල හෝටලයේ සේවකයන් දෙදෙනෙකි . ඔවුන් විසින් බනිස් පෙට්ටියක් හා බීම පෙට්ටියක් පිට්ටනිය මැද තබා ගොස්තිබේ
මගේ පියාගේ භාෂාවෙන් කියනාවානම් දෙයක්ලැබුණුවිට ඉඩමේ හතර කොණ නොබැලිය යුතු නිසා බනිෂා බීම පෙට්ටියට වගකියූ ඔවුහු ඇමතිතුමාට පින් දෙමින් නිවෙස් වලට ගියහ .
විචාරක දියණිය 23.00 පැයට
17 August 2017
මරණයේ දෝංකාරය
මගේ පියා සිය රාජකාරි දිවියේ වැඩිම කාලයක් ගතකලේ වවුනියාව ප්රදේශයේය. ඔහු විශ්‍රාම යාමට ආසන්න කාලයේද සේවය කලේ එම ප්‍රදේශයේ වූ අතර යුද්ධය දරුණුවටම පැවති අවදියක් විය. එකළ ත්රස්තවාදීන් විසින් නියමුවෙකු රහිත ගුවන් යානා මගින් බෝම්බ හෙලනු ලැබීය . දිනක් අළුයම අප නිවසේ ස්ථාවර දුරකථනය නොනවත්වා නාද වූ නමුත් මගේ නින්ද එය ගැනීමට සිත් නොදුනි. ඇතැම් විට මගේ පියා පාන්දර කතාකරන බව දැන සිටියත් නින්ද ඊට වඩා මට වැදගත් විය. මේ වේලාවේ මගේ මව සිටියේ කුස්සියේ කෑම පිසිමින්ය. ඇයට මෙය නොඇසෙන්නේ සාලයමැද ඇති දොර වසාගෙන ඇය කුස්සියේ උයන නිසාවෙනි. තවත් වරක් නොනවත්වා නාද වුව ද මගේ කරුම සිතට එය ගැනීමට සිත් නොදුනි. ඔය අතර , වේලාව අළුයම 5.00 වූ අතර මගේ මව කුස්සියේ තිබෙන රේඩියෝවෙන් ප්රවෘත්ති අසා මා වෙත දිවගෙන ආවාය
අම්මා - ළමයෝ වවුනියාවට ගහලා . තාත්තා කතා කලේ නෑ නේද?
මම - ඒ වෙලාවේ මට ඇති වූ බිය හා දුක අපමණ වුවත් බයාදු හඩින් මා පැවසුවේ ෆෝන් එක රින් උනා මට ගන්න බැරි උනා කියලාය.
එකෙනෙහිම නැවත අපේ ගෙදර දුරකථනය නාදවිය. අම්මා විගස ගොස් එය ගත්තාය.
එහෙත් ඒ පියා නොව ඔහුගේ ඥාති දියණියකි.
ඥාති දියණිය - නැන්දේ වවුනියාවට ගහලා නේද ? මාමා කතා කළාද ?
අම්මා - අනේ, කතා කරේ නෑ. කියා මාව බේරා දැමුවාය . එතැන් සිට ඇය නොනවත්වා ගත්ත ද ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතය. අම්මා මට සියලු ගරුසරු පදවලින් අමතමින් නැවත නැවත ඔහුගේ දුරකථන අංක සියල්ල අංකනය කළාය. සියල්ල ප්‍රතිඵල රහිත විය .
දැන් දෙදෙනාම ගොළුවත රකිමින් පියවර මනිති. ඔය අතර මගේ මව එදින වැඩට නොයන බව ප්‍රකාශ කළාය. කාලය ගමන් කළේ ඉතා සෙමින් යයි මට වරෙක සිතිනි.
ඔය අතරතුර මා සිතින් මටම බැන ගත්තාය. වෙලාව පෙරවරු 7.00 පසුවී මදක් ගතවී තිබුණි. එකෙනෙහිම අප නිවසේ දුරකථනය නාදවිය. මාවත් පෙරලාගෙන ගොස් අම්මා දුරකථනය ගත්තාය.
ඒ ඔහුය . ඔයාලගේ වාසනාවට මන් බේරුනා ඔහු කීවේ එලෙසය .
ඉන්පසු ඔහු ඇසුවේ මන් ගහපු වෙලාවෙම ගත්තා කථා නොකරේ මන්දැයි යන්නය. එවිට අම්මා මට හොඳට ඔහු සමග දෙහි කැපුවාය.
එදා ඇතිවූ සිද්ධිය මෙසේය . නියමුවෙකු නොමැති ගුවන් යානාවක් ඉරානමඩු සිට පලාලි දක්වා ගොස් නැවත පැමිණ වවුනියාවේ මෙම කඳවුරට අධි බලැති බෝම්බ හෙලන ලදී. ආලෝකයක් නොමැතිව ගමන්කරන මෙම යානාව නිසා දීශාව විතරක් හඳුනා ගතහැකි අතර එය ආසන්නයටම එනතුරු දැකිය නොහැකිය.
එදින අලුයම 3.30 ට පමණ මගේ පියා නිදා සිටින විට ඔහුට දුරකථන ඇමතුමකින් දැනුම් දී ඇත්තේ කාමරය ඉදිරිපස ඇති බංකරයට පැමිණෙන ලෙසයි. ඔහු දොර අරිනවාත් සමග මෝටාරයක් පැමිණ කාමරයේ වහලයේ වැදීඅති අතර ඒ සමග විසිවූ ඔහු බංකරයට නිකම්ම වැටී ඇත. ඉන්පසු වෙඩි හඬවල් දසත පැතිරෙද්දී ඔහු ජංගම දුරකතනයෙන් බංකරයේ සිට නිවසට ඇමතුම ගෙන ඇත.
ඒ අවස්ථාවේ මගේ නින්ද විසින් එය ගනු නොලැබීය .
මෙහි අවාසනාවන්තම සිද්ධිය එය නොවේ . යානයෙන් බිමට හෙලන ලද බෝම්බය බිම පතිත වෙද්දී සියල්ලෝම බංකර වලට රින්ගද්දී සෙබළියක් විසින් සෙබළුන් සිටින බංකරයට යාමට අකමැත්ත ප්‍රකාශ කර ඇත. කොතෙක් උත්සාහ කරද ඇය එම බංකරයට නොපැමිණ එලි මහන් කුටියක සිට ඇති අතර, බෝම්බය ඒ ආසන්නයට වැටී ඇත. එම බෝම්බ කෑලි ඇගේ උදරයේ වැදී දරුණු තුවාල ලැබූ ඈ එම මොහොතේම මියගොස් තිබිණි. මියගියේ ඇය පමණි . එහෙත් ඈ තුවාල සහිතව අම්මෝ ........ කියා කෑ ගැසූ අවසන් කෑගැහිල්ල මගේ පියාට කාලයක් යනතුරු දෙසවන් දෝං කාර දුන් බව ඔහු මා සමග පැවසුවේය.
ඔහුගේ වසර 32 ක් පමණ සේවා කාලයේ මරණය දොරකඩටම පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
විචාරක දියණිය 23.00 පැයට
07 August 2017
පෙළ පාළිය, විසිර යා
විචාරකතුමාගේ පිංකමට ආවත් , නාවත් ඔහු මතකයේ තියාගත්ත ඔබ සැමට ස්තූතියි . ඉතින් ගිය සතියම පිංකමට කාලය වෙන්වුණු නිසා හිතේ තිබුනත් ලියාගන්න බැරිවුනා .
අදමං කියන්නේ ඔහුගේ හමුදා ජීවිතය මට බැඳුනු හැටි .
සූරියකාන්ත මල හා දෙබරු
මේ කතාවට රටේ බොහොම ප්‍රසිද්ධ කාලයක් මතකයට නැගෙනවා . ඒ තමයි 1989 ඒ අවුරුද්දේ තමයි මම හා හා පුර කියාලා 1 පන්තියට ගියේ . විචාරකතුමා තමයි මගේ පොත්වලට පිට කවර දාලා නම ලියල . එයාගේ පොඩි වැඩ නෑ . ලොකු අකුරින් තමයි නම ලියන්නේ . ඒ දවස්වල ඉඳගන්න පුටුව ළමයා ගෙනියන්න ඕන. ඉතින් මට මතකයි . ලසස්න කොස් ලී පුටුවක් හදලා තිබුනා . ඒ කේ හැමතැනම ලොකු අකුරින් විචාරකතුමා මගේ නම ලීවා. ඉතින් කොහේ දාලා තිබුනත් පුටුව හොයාගත්ත හැකි. හරි මේ කතා වැඩක් නෑ . කතාවට එන්ටර් වෙමුකෝ ...................
කාලේ වෙනස් තාලේ අලුත් වගේ වැඩිකල් ඉස්කෝලේ යන්න ලැබුනේ නෑ. ඉස්කෝලේ නිවාඩු දුන්නා. හැබැයි ගුරුවරු වැඩට යන්න ඕන, අපේ අම්ම ඉස්කෝලෙට ගිහිල්ල පාඩම් වැඩ ඉල්ලගෙන එනවා. ඒ දවස්වල රෑට මගේ මව ඇහැරිලා ඉන්නවා . අපේ ගෙදර එතකොට හිටියේ මමයි, අම්මයි, නංගියි, නංගි බලාගත්ත කෙනයි විතරයි. විචාරකතුමාගේ නිවාඩු කැන්සල්. ඉතින් ඔහු නෑ. තත්වය හොඳ නැතිනිසා හැමෝම කීවා ගෙදර තනියම ඉන්න එපා කියලා ඊට පස්සේ අම්ම අපි දෙන්න අරගෙන වැඩට හිටි ළමයා ගෙදර යවලා ගියා අපේ ලොකු අම්මගේ ගෙදර. අපිට ඉතින් හොඳයි. උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කරනවා . ඔහොම ඉන්නකොට දවසක් රෑ විචාරකතුමා ඇවිත් කීවා අපි දියතලාවේ හමුදා කඳවුරේ තාවකාලිකව නවතින්න යනවා කියලා . ඒ වෙනකොට රජයෙන් හමුදා පවුල් සාමාජිකයන් තම රාජාකාරි ස්ථාන ආසන්නයේ රඳවා ගැනීමට අවසර දීලා තිබුණා. ඉතින් අපිත් ගියා දියතලාවේ. ඒ වුනාට මොකද නිල නිවාසයේ ඉන්න එක හිර ගෙදරට වඩා හපන් එළියට යන්ඩ බෑ. සෙල්ලන් කරන්න ඉඩ නෑ. කෑගහන්න බෑ. මොකද කඳවුර ඇතුළේ නිල නිවාසයක් තමයි ලැබුනේ .
ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මම දැක්කා, මං වගේම තව ගෑනු ළමයි දෙන්නෙක් තවත් නිල නිවාසයක ඉන්නවා . ඒ වගේම, ඒ අසළ කවදාවත් දැකල නැති ලස්සන ලොකු කහපාට මල් වගයක් තියෙනවා . ඒවත් කඩාගෙන අර ළමයි එක්ක සෙල්ලම් කරන්න යනවා කියා හිතලා ,අම්මට අහුවෙන නිසා ඉස්සරහ දොරෙන් නොයා පිටිපස්සේ තිබුණු කෙටි තාප්පෙන් පැනලා ගියා මල්කඩන්න . මල් වලට ලං වෙනකොට මං දැක්ක මී මැස්සෝ වගේ සත්තු ජාතියක් ඒවායේ කැරකෙනවා . මී මැස්සෝ මට විදින එකක් නෑ , කියලා හිතලා මම මල කඩන්න හදනොකටම, ඔලුව පිටිපස්සට එකෙක් ඇන්නා තරු 10 ක් විතර පේන්න. මොකුත් නෑ. කඩාගත්ත මලත් අතඇරපු මං යටි ගිරියෙන් කෑගැහුවා . එවෙලේ තමයි අම්ම දැක්කේ මං ඉන්න තැන, ඒ එක්කම මං දැක්කා පහළින් තිබුන පාර දිගේ රාජකාරී නිම කරලා නිල නිවාසයට එන විචාරකතුමාව . එතකොට නම් මට කලන්තේ දාන සයිස් එකක් තිබුනේ. මොකද මං දන්නවා හොඳට බැණුම් අහන්න වෙන බව. ඊට පස්සේ අයිස් තියලා, බටර් ගාලා කරන්න පුළුවන් සේරම කරත් දවස් දෙකක් විතර යනකන් ඉදිමුම බැස්සේ නෑ. ඒ මී මැස්සෝ නෙවේ දෙබරු කියලත් මල් සූරියකාන්ත කියලත් මම දැනගත්තේ එදා . විචාරකතුමා මං හිතුවට මුකුත්කීවේ නෑ. එකදෙයයි කීවේ මං හිතුවා කටේ සද්දෙටම මේ ළමයා තමයි කියලා .
පෙළ පාළිය, විසිර යා
දියතලාවේ ගෙවුණු මාස 8 ක පමණ ජීවිතේ විවිධාකාර අත්දැකීම වලට මුහුණ දුන්නා. ඔය ඉන්න අතරේ විචාරකතුමා මට කිවුවා , මාව උත්සවයකට එක්ක යනවා ලස්සනට ලෑස්ති වෙන්න කියලා. ඔන්න ඉතින් පහුවදා අම්ම මට ලසස්න ගවුමක් අන්දලා, සපත්තු මේස් දාල ලෑස්ති කරා . විචාරතුමාත් ඉතින් නිල ඇඳුම් ඇඳලා, කඩු කස්තාන ඉනේ ගහගෙන ලෑස්ති වුණා. ඔන්න ඉතින් ජීප් එකක පිටිපස්සේ විචාරකතුමාගේ යාළුවොයි මමයි විචාරකතුමයි ගියා . යනකන් යාලුවෝ බැන්නා, ඇයි මේ ළමයා අර ගිනි අවුවට ගෙනියන්නේ කියලා . විචාරකතුමා මුකුත් කීවේ නෑ. හිනාවෙවී හිටියා . ඔන්න මට එතනට ගියාමයි තේරුනේ වැඩේ මොකක්ද කියලා . ඒ තමයි දියතලාව යුධ හමුදා පුහුණු පාසලේ විසිර යාමේ පෙළපාලි පවත්වන භූමිය , මාව ගෙනත් තියෙන්නේ ඒ විසිර යාමේ උත්සවයක් පෙන්වන්න. විචාරකතුමාටයි මටයි පෙළපාලිය බලන්න අසුන් දෙකක් ලැබුණා. දැන් ඔහොම සියල්ල නරඹමින් ඉඳලා එක පාරටම විදානයක් දුන්නා ආචාර පෙළ පාලිය විසිර යා කියලා ඉඳගෙන හිටියට මං විචාරකතුමාගේ අතත් අල්ලාගෙන හිටියේ . එකපාරටම නැගිට්ට විචාරකතුමා ටක් ගාලා සීරුවෙන් ඉඳගෙන අත නවාගෙන අර සෙබළුන්ට සැලුට් කරා. මට තේරුණා මමත් දැන් සීරුවෙන් සිටිය යුතුයි කියලා. මමත් ඒ විදියටම සීරුවෙන් හිටියා . ඔන්න ඉතින් අර නිලධාරී කණ්ඩය විසිර ගියා . ඊට පස්සේ දවසක විචාරකතුමා ළඟ වැඩකරන කෙනෙක් ඇවිල්ල කියනවලු සර් ,මාරු පොටෝ එකක් තියනවා පෙන්වන්න කියලා . බැලින්නම් අර විසිර යාමේ පෙළ පාළියේ අපි දෙන්නගේ ෆොටෝ එකක අරගෙන, ඒක බලලා අර මනුස්සයා කිවුවලු බලන්ඩකෝ සර් දුව නිකන් ඉන්නේ සර් වගේම කියලා. විචාරකතුමා ඒ කතාව ගෙදර ඇවිත් අම්මත් එක්ක කිවුවා.
මළ ගෙදර හා වමනය
මම තුනේ පන්තියේ විතර ඉන්නකොට විචාරකතුමා දවසක් ගෙදර ඇවිත් ඉන්න වෙලාවේ කීවා . හෙට ඔයා මාත් එක්ක මළ ගෙදරක යනවා කියලා . මට ඉතින් මාර සතුටුයි . මොකද මං පොඩිකාලේ ගමන් යන්න හරි කැමතියි . එහෙම තමයි ඔහු මාව ඉස්සෙල්ලම හමුදාවේ අයෙකුගේ මළගෙදර එක්ක ගියේ . මළගෙදර තිබුනේ නොර්ටන් බ්‍රිජ් වල .එවකට අපි පදිංචි වෙලා හිටියේ රුවන්වැල්ලේ නිසා හැටන් හරහා තමයි ගමන යෙදුනේ. විචාරකතුමා ඒ මළගෙදරට සහභාගිවුණේ ඔහුගේ හමුදා ඒකකයේ මළගෙදර වෙනුවෙන් සහභාගී වන නිලධාරියා ලෙසයි. ඉතින් මමත් ඔහුත් බසයෙන් ගිනිගත්හේන නගරට ගිය අතර , හමුදාවෙන් එතැන් සිට මළ ගෙදර දක්වා නිලරථයක් එවා තිබුණා. ඔහු එම නිලරථයේදීම නිල ඇඳුම් ද , ඇඳගෙන මා සමග මළ ගෙදරට ගියා. තේ වතු යායක් මැද තනාතිබූ කුඩා නිවසේ ඔහුගේ දේහය නොතැබිය හැකි නිසා ටකරං වහලයක් තනා දේහය තැන්පත් කිරීමට වෙනම ස්ථානයක් තනා තිබුනා . සෙබළාගේ මෑණියන් පැමිණ විචාරකතුමා සමග ඇඩු කඳුළින් කතා කළා මට මතකයි. කුඩා වයසේ උනත් ඒ දර්ශනය මගේ සිතත් සොලවන්න සමත් වුණා. ඔහොම ඉන්නකොට, එතනට ආපු විචාරකතුමා දන්න හමුදාවේ කෙනක් සර්, තේ බොන්න යමු කියා කතාකරා. ඔහුගේ කීමට ගියත්, විචාරකතුමා වැඩිය කෑවේ බීවේ නෑ. අර පුද්ගලයා මට කේක් කෑල්ලක් හා ආනමාලු කෙසෙල් ගෙඩියක් දුන්නා. ඒ දවස්වල මට ගමන් යනකොට වමනේ යනවා . ඒ නිසා විචාරකතුමා බයවෙලා කීව ඔයා ඕවා දුන්නට කමක් නෑ කන්න එපා කියලා ඒ වුනාට ඉතින් මේ මම ඕවා අතේ තියාගන ඉන්න බැරිනිසා කෑවා. අවසානයේ සියලු හමුදා උත්තමාචාර මැද දේහය මිහිදන් කෙරුණා. ඉතින් නැවතත් නිවස බලා සුපුරුදු පරිදි ගමන් ආරම්භ කරපු අපිට ආපසු ගමනේදී නිල රථය නිවස සලටම හමුවුණා. විචාරකතුමාගේ ඔඩොක්කුවේ වාඩිවෙලා හැටන් සිට පල්ලම බහින විට දවල් ඔහු කීදේ සැබෑවක් කරමින් වමනය යාමට සානවා තිබුණි. කට තදකරගෙන හිටියත් විචාරකතුමාගේ නිල ඇඳුම ද මගේ ඇඳුම ද ඉවර කරමින් මට වමනේ ගියා. විච්රකතුමා එවෙලේ නම් හිටියේ දැන් මාව වාහනෙන් එළියට දාන සයිස් එකෙන් . මොකද එයා හරි නීට් . ඊට පස්සේ වාහනේ රියදුරු මහතා කීවා ඔහොම ඉන්ඩ සර් පල්ලෙහා වංගුවේ පොඩි දිය පාරක් තියනවා එකෙන් හෝදගමු කියලා අවසානේ එතනින් මවත් හෝදලා විචාරකතුමා ඇඳුනුත් මාරු කරලා ගමන පිටත් වුණා. ඊට පස්සේ මට හොඳට නින්ද ගියා. ගෙදර ගිය ගමන් විච්රකතුමා අම්මට මන් ගැන පැමිණිලි කරා .
විචාරක දියණිය
13.05 පැයට
23 July 2017
අනුස්මරණය
තෙමසක් ගතවිය ඔහු අප හැර නික්ම ගොසින්
ඇරයුම් කරමි ඔබ සැම හට සැදැහැ සිතින්
ඇවිත් යන්න අපෙ නිවසට බැති සිතින්
පින් අනුමෝදම් කරමු ඔහුට සෙනෙහෙ සිතින්
දිවංගත විචාරකතුමාගේ තෙමස්පූර්ණය වෙනුවෙන් පුණ්‍ය කර්මය ජූලි මස 28 හා 29 දෙදින අප නිවසේ පැවැත්වේ. මේ සඳහා සහභාගී වන මෙන් ඔබ සහෘද බ්ලොග් සාමාජික සියලු දෙනාට ආරාධනා කරමු .
විචාරක දියණිය ඇතුළු පවුලේ සැම
වැඩි විස්තර සඳහා බ්ලොග් සහෘද ගස්ලබ්බා මහතා අමතන්න .
20. 45 පැයට විචාරක දියණිය
2016
09 July 2017
ඔහු හා අපි .........................
ච්ත්‍රපටි බැලීම
විචාරකතුමාගේ තාත්තා එයාල පොඩි කාලේ හැමදාම හොඳ ච්ත්‍රපටියක් ආවාම එක බලන්න එක්ක යන පුරුද්දක් තිබිලා තියනවා, මොකද ඒ කාලේ දැන් වාගේ සන්නිවේදන මාධ්‍ය දියුණු නැතිනිසා . පසු කාලීනව තාත්තා නැතිව, ගැන්සිපිටින් චිත්‍රපටි බලන පුරුද්දක් විචාරකතුමාට තිබිලා තියනවා . ඒකට හරියන්ඩම ඒ දිනවල විචාරකතුමා ඉඳලා තියෙන්නේ චිත්‍රපටි ශාලාවක් කිට්ටුව තියන ගෙදරක . ඉතින් විචාරකතුමා ඉඳලා තියෙන්නේ එළියේ කාමරේ. අර ශාලාවේ ෆිල්ම් එක කරකවන කොල්ල විචාරකතුමා හොඳට යාලු කරගෙන. ඉතින් 6.30 show එක පෙන්නනේ විචාරකතුමාට අතින් අඩ ගහලා . කරකවනවා කියන්නේ අද වගේ DVD නෑනේ ඒ තැටිය අමුතු තාලෙටලු දාන්නේ ..... දැන් මෙයා යාලු ගැන්සියත් එක්ක ගිහිල්ලා ගැලරියේ ඉඳගෙන ෆිල්ම් එක බලනවා . ඔතන ඉන්නවා යාළුවෙක් එකම නළුවා විවිධ දර්ශන වල විවිධ ස්වරූපයෙන් ආවහම අහනවලු මූ කවුද බන් කියලා .............
ඉතින් විචාරකතුමා කියනවලු ඒ ගාමිණි බන් .............
ඒ අහවලා බන් ....................... ඒ උනාට මේක හරියන්නෙම නෑලු පස්සේ විචාරකතුමා ෆිල්ම් බලන්න ගියාම ඒ යාලුවා ළඟ ඉන්දගන්නේ නෑලු
දවසක් ඔහොම ෆිල්ම් එකක් බලනකොට අර යාලුවා ඇහුවලු කවුද බන් ඒ කියලා ...............
එදා විචාරකතුමා ළඟ ඉඳලා නෑ. වෙන එක්කෙනෙක් ඉඳලා තියෙන්නේ. එයා එක පාරටම කිවුවලු ........ තොගේ ............මා ඉන්නේ කියලා ......................
එදා ඉඳලා කට්ටිය නිදහසේ ෆිල්ම් බලනවලු ..........
ආයෙමත් දවසක ඔය හෝල් එකට ආවලු වැඩිහිටියන්ට පමණයි ගණයේ ච්ත්‍රපටියක් හැබැයි එක බලන්න මේ නාඹර වයසේ පොඩිහිටියෝ ගිහිල්ලා . විචාරකතුමාට අයියයි මල්ලිලා දෙන්නෙකුයි හිටියා. බාල මල්ලි ඇර මේ තුන්දෙනාගේ වයස් අතර පරතරය තරමක් අඩුයි . ඉතින් දැන් විචාරකතුමා පුරුදු පරිදී යාලු ගැන්සියත් එක්ක ෆිල්ම් එක බලනවා . හැබැයි එදා ගැලරියේ උනාට ටිකක් පිටිපස්සේ ඉඳලා තමයි ඉඳලා තියෙන්නේ .
ෆිල්ම් එකේ ඉන්ටවල් වෙලාවේදී ලයිට් දාපුවාම විචාරකතුමාට යාලුවෙක් කිවුවලු
අර උඹේ මල්ලි නේද ඉන්නේ කියලා ................ බලනකොට පලවෙනි පේළියේම වාඩිවෙලා ඉන්නවලු බාප්පා ............ දැන් විචාරකතුමාට යකා නැග්ගලු . එතකොට එයත් දැකලා. දැන් දෙන්නා සංඥා භාෂාවෙන් බැනගන්නවලු
විචාරකතුමා - වරෙන්කො අද ගෙදර ( අත දික්කරමින් )
බාප්පා - අනේ පලයන් යන්න, බලපන් පිටිපස්ස කියලා ( අතින් කිවුවලු )
විචාරකතුමා බැලුවාලු මූ මේ මොකක්ද කියන්නේ කියලා. බලනකොට විචාරකතුමාගේ අයියා ( ලොකු තාත්තා ) ඉන්නවලු ODC එකේ, මේ දෙන්නගේ රංගනය බලාගෙන . මුකුත් දැක්කේ නෑ වගේ . ඉතින් විචාරකතුමාගේ භාෂාවෙන් කියනවානම්
// ඉතින් මොකේදැයි දැන් වළදන්නේ // කියලා හීමිට ඉන්දගත්තලු.
එතකොටම ෆිල්ම් එක පටන් අරගෙන
ෆිලිම් එක ඉවරවුනාමත් ආව පරිදි හොඳ ළමයි වගේ තනියම යන්ඩ පටන් ගත්තලු . දැන් පාරේ යන්නේ අයියා ඉස්සෙල්ලම ඊට අඩි 20 ක් විතර පස්සෙන් විචාරකතුමා ඊට අඩි 10 ක් විතර පස්සෙන් මල්ලි . ගේ ළං උනාම නෝ කතා නෝසිනා වගේ ගොස් , හොඳ ළමයි වගේ තම කාමර වලට රිංග ගත්තලු .
කතන්දර කියාදීම
ඔන්න ඉතින් පොඩිකාලේ ළමයි කවුරුත් ආසයිනේ කතන්දර අහන්න. ඉතින් අපේ අම්මා මට මතකයි විවිධ කතන්දර කියලා දෙනවා . ඉතින් අර ඉස්කෝලේ උගන්නපු කාලේ විචාරක තුමාට මං කිවුවාම කතන්දර කියල දෙන්න කියල ඔහු කියන්නේ එකම කතාන්දරයයි . ඒ තමයි වටු කිරිල්ලිගේ කතාව. ඒකට හේතුව මන් දන් නෑ . හැමදාම කියාන්නේ ඔය කතාව විතරයි .
ඉතින් විචාරක තුමා පටන් ගන්නවා - ඔන්න එකමත් එක කාලෙක කලෙක හිටියා වටු කිරිල්ලියක් , මේ වටුකිරිල්ලි දවසක් ගලක් උඩ බිත්තරයක් දැම්මා. බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා ............ ඉතින් ඔය විදියට කියනවා
හැබැයි කවද ඇහුවත් කියන්නේ ඔය කතාව විතරයි . ඒකට හේතුව මංම හොයා ගත්තා මොකද කතාව දිගයි . අවසානේ අහන්න මට ඇහරිලා ඉන්න වෙන්නෑ එයාට ලේසියි .
ඉංග්‍රීසි ඉගැන්වීම
විචාරක තුමාට ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හසුරවන්න පුළුවන් . ඉතින් අපේ අම්ම අප කුඩාකල විචාරකාතුමා නිවාඩුවට නිවසට පැමිණිවිට ඔහුට පවසනවා
අනේ, මේ ළමයි දෙන්නත් එක්ක ඩිංගක් ඉංග්‍රීසියෙන් කතාකරන්නකෝ, එතකොට මේ දෙන්නත් ටිකක් ඉගෙන ගාන්නවනේ කියලා
ඒ වුනාට කවදාවත් ඒ කියන වෙලාවට විචාරකතුමා එහෙම කරන්නේ නෑ.......
එයා ඉංගීසි පන්තිය පටන්ගන්නේ මධුවිත ටිකක් තොල ගෑවට පස්සේ ................
එතකොට මෙහෙමයි
විචාරකතුමා - ළමයි ........... අද අපි ඉගෙන ගන්නේ My Self ( ටිකක් උස ස්වරයෙන් )
My Name is ........................
ඔහොම ටිකක් වෙලා ගිහින් කියනවා දැන් බලන්න හරි ලේසියි . හෙම්බිරිස්සාව හැදුනාම නිකම්ම ඉංග්‍රීසි පුළුවන් වෙනවා.
මෙහෙමයි Has shee කිවුවාම අනෙක් කෙනා අහන්න ඕන Whos he කියලා
මේවගේ එකක් කිවුවාම අපට හිනා යනවා අම්මා කෝපයෙන් රතුවෙනවා . පාඩම එතකින් නිමයි .
එදා අපිට ඔහු කියල දුන්නේ භාෂාවක් තමන් තනිව ස්වෝත්සාහයෙන් ඉගෙනගත්විට එහි මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩි බවයි. පසු කාලීනව ඔහු මාව වෙනමම ඉංග්‍රීසි කථා පුහුණුවකට යොමුකළා. නැගණියට පාසලෙන් හා උසස් අධ්‍යාපනයෙන් එය හිමි උනා ...............
බයිසිකල් පැදීම
මගේ මව කියන පරිදි විචාරකතුමාට බයිසිකල් පදින උණක් තිබුනලු . හැබැයි වේගේ වැඩියි වගේම ඔහුටම කියලා බයිසිකලයක් තිබුනෙත් නෑ . නමුත් හදිසියට යාලුවන්ගෙන් බයිසිකල් ඉල්ලගෙන ගමන් ගොස් තිබුනා. ඉතින් ඔහොම දවසක් ගමනක් යද්දි මතක හිටින වැඩක් වෙලා . සිද්ධිය මෙහෙමයි.
1980 දශකයේ මුලභාගේ ජූනි මාසයේ මුල සතියේ දිනයක හරියටම මන් ඉපදිලා සතියකින් මගේ මවගේ මිත්තණිය මිය ගිහින් තියනවා. මගේ මව සිටි තත්වය අනුව ඇයට යාමට නොහැකි නිසා ඇය විචාරකතුමාට පැවසුවාලු , ඔයාට පුළුවන්ද මළ ගෙදර ගිහින් එන්න කියලා . යාළුවගේ බයිසිකලේ ගිහින් එන්න කිවුවාම, විචාරකතුමා එක පයින් හා කියලා .
දැන් විචාරකතුමා මළගෙදර යන්න පිටත් වෙලා . මට කියන්න බැරි උනා, එවකට මේ දෙදෙනා ගුරුභවතුන් නිසා පාසලේ ගුරු නිවාසයේ තමයි හිටියේ . ඉතින් එතන ඉඳලා ටවුමට මහාදුරක් නෑ. ගිහින් විනාඩි පහලු ගතවුනේ මවට ආරංචි උනාලු පාර අයිනේ තිබුණු කඩල කඩයක් කඩාගෙන බයිසිකලේ පෙරළිලා කියලා .
දැන් අම්මට "ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී" වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ . මාව දාල විචාරක තුමා බලන්න යන්න විදියක් නෑ. විචාරකතුමාගේ තත්වේ දන්නෙත් නෑ. භය බිරාන්තව ඉන්නකොට ආයේ පණිවිඩයක් ආවලු . විචාරකතුමාටවත් , බයිසිකලේටවත් හානියක් නෑ. කඩල කඩේ කුඩු කියලා . මළ ගෙදර එතනින් ඉවරයි . බයිසිකල් පැදිල්ලත් මගේ මව තහනම් කරාලු . ඉන්පසු 2015 වෙනකම් මන් දන්න පරිදි විචාරකතුමා බයිසිකල් පැද්දේ නෑ.
විචාරක දියණිය 12. 25 පැයට
03 July 2017
මට ජීවිතය කියාදුන් මගේ පියා ........................
ප්‍රතිචාර දැකීමෙන් ලියන්නට සිත් වුවත් රාජකාරිය දේවකාරිය වූ නිසා මෙම සති අන්තය ගතවූයේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති විභාග රාජකාරි සඳහාය.
නැවතුණු තැනින් .........
විචාරකතුමා පරිගණකයට මෙතරම් ඇලුම් කළේ ඔහු Electronic භාණ්ඩ වලට දැක්වූ ඇල්ම නිසාය. කුඩාකල සිට සිය වැඩිමහල් සහෝදරයාගෙන් Electronic පරිපත සැකසීම ඉගෙනගත් ඔහුට Electronic සම්බන්ධ සියලුම දේ ජානවලින් ලැබී තිබුණේය. මියෙන තුරාවට අප නිවසේ කිසිදු Electronic භාණ්ඩයක් ඔහුගේ පරීක්ෂාවෙන් තොරව මිලදීගෙන තිබුණේවත්, අලුත්වැඩියා කතර තිබුණේවත් නැත. ඔහු ඒවා පිටත තැනකට දුන්නේ ඔහුට එය කළ නොහැකිනම් පමණි . මාදිලිය , එහි ප්‍රමිතිය , නිමාව ඔහු සැමවිට අගය කළේය. එහිදී ඔහුට මිල වැදගත් නොවීය. එම නිසා මගේ වයසට සමාන ඇතැම් Electronic භාණ්ඩ තවමත් අපේ ගෙදර භාවිතා වේ. ඔහු නව ලෝකයට සැමවිටම ආසාකළ අතර තොරතුරුවලින් සන්නද්ධ විය.
ඔහුගේ Electronic ආසාව නිසාම ඔහුගේ 50 වැනි උපන්දිනයට මවගෙන් ඔහුට ලැබුනේ රූපවාහිනී යන්ත්‍රයකි. එයට ඔහු බොහෝ ආසා කළේය .
ඔහු මට හා මගේ නැගණියට ආදරය හා ආරක්ෂාව සපයන්නට ගත් උත්සාහය අනන්තය. එවකට මා සිවු හැවිරිදි වියේ පසු වූ අතර අප ජීවත්වූයේ කුළි නිවසකය.එහි ලිඳක් තිබුණද , කැළණි ගඟ ආසන්නයේ ජීවත් වූ නිසා නෑම සඳහා ගඟට යාම පුරුද්දක් වී තිබුණි. මේ කාලයේ මා ඉතා දඟකාර බවද පැවසිය යුතුය. කෙස් වෙතත් ඔහුගේ රාජාකාරී ජීවිතය නිසා සැමවිටම අප ළඟ රැඳීමට ඔහුට නොහැකිවිය. දිනක් මව හා අසල නිවසක ළමයෙකු සමග දියනෑමට ගඟට ගිය අතර, ඒ වනවිට අසල්වාසී බොහෝ දෙනෙක් ද දියනෑමට ගඟට පැමිණ සිටියහ. ඔවුහු බොහෝ දෙනෙක් ගැඹුරු දියේ සිටියහ. මා වහා වතුරට පැනගත් පසු අම්මා කෑ ගැසුවාය.
අම්මා - ළමයෝ ගැඹුරට යන්න එපා . ඉක්මණාට නාලා එන්න.
එය මදකුදු ගණන් නොගත් මමත් ඇයත් ටික වේලාවකින් ගැඹුරු දියට ගිය අතර , අප දෙදෙනාගේ කර වටට පමණ වතුර තිබිණි දෙදෙනාම ඇත අල්ලා සමබරතාව රැකගෙන සිටි අතර, හදිසියේම ඇය මගේ අත අතඇරියාය. සැණකින් දියට වැටුණු මා පහළට ගසා ගෙන යන බව දැනුණි. සැනෙකින්ම මට වැටහුනේ මගේ කටට වතුරපිරෙන බවත් කකුල් ගැසුවත් වතුර වැඩි නිසා කකුල නොවදින බවත්ය. කෑ ගැසීමට වේර දරන හැම මොහොකම කටට වතුර පිරුණි. අත පමණක් දියෙන් ඔසවා ගැනීමට හකිවූ අතර මගේ වාසනාවට ගඟේ සෑම කොනකම මා සෙවූ අම්මාට මගේ අත පමණක් දිස්වී තිබුණි.
අනේ.......... මගේ ළමයා යයි මව කෑ ගැසූ පසු සියලු දෙනා දුටු අතර , ඊට ඉහළ තොටුපලේ නාමින් උන් මාව දන්නා කෙනෙකු පැමිණණ මාව හරහට වඩාගෙන ගොස් බිම තැබූ සැනින් මට වතුර වමනය ගියේය . මගේ මෙන්ම අම්මාගේ නෑමද අවසන් වූ අතර , ඇය මාවද කැටුව නිවසට පැමිණියාය . ඉන්පසු ටික දිනකින් නිවාඩු පැමිණි මගේ පියා නිවසට ජල සම්පාදනය ලබාගෙන නළ සවිකරන ලදී. එදිනෙන් පසු ඔහු නොමැතිව ගඟට යාම සපුරා තහනම් විය. මා ඉතා බියට පත්වී සිටි නමුත් මට කිසිවක් කීවේ නැත.
එවැනිම මාගේ වීර ක්‍රියාවක් නිසා වයස අවු 2 දී පමණ මගේ නැගණියගේ කකුලේ මහපට ඇඟිල්ල දෙකට මැදින් කැඩුණි. සිද්ධිය මෙසේය. එදින සවස සුපුරුදු පරිදි මගේ නැගණියට අහාර ලෙස සුප් කෝප්පයක් දුන් අපේ අම්මා ඇයව සාලයේ තබා මුළුතැන්ගෙට ගියාය. ගෙදර සියලු බිත්ති වලට හා දොර ජනෙල් ආදී සියලු වස්තූන්ට ගුරුවරිය වූ මා බිත්තියේ යමක් ලිවීමට පැස්ටල් කූරක් රැගෙන ටිපෝව මතට නැග්ගාය .
බිත්තිය දෙසට වැඩිපුර ඇලවීම නිසා අසමබර වූ ටිපෝව හා මා නැගණිය උඩට වැටුණි. මා ක්ෂණිකව ඉවත් වූ නමුත් ටිපෝදාරයට ඇයගේ දකුණු කකුලේ මහපට ඇඟිල්ල එල්ලෙමින් තිබුණි. ඇය ලතෝනි දෙමින් කෑ ගැසූ අතර , එතනට පැමිණි අම්මා මට දිගට හරහට පහර දී ඇයවද රැගෙන පාරට දිවුවාය. එවෙලේම පැමිණි බයිසිකලයකින් එවකට කරවනැල්ල මූලික රෝහලට ගෙන ගිය අතර , මම මෙහෙකාරිය සමග අඩමින් පාර බලා සිටියෙමි. මා ඉතා බියට පත් වූයේ ඇය මියයාවී යැයි සිතමින්ය .
මුළු ගමම රෝහලට ගිය අතර සෑම දෙනාම අපාසු පැමිණියත් , මව හෝ නැගණිය පැමිණියේ නැත. අසළ ගෙදරක අයෙක් පැමිණි පැවසුවේ රෝහලේ දෙදෙනාම නවත්වා ගත් බවයි ඉතින් මම අඞමින්ම නින්දට ගියෙමි. එතැන්සිට මාසතුනක් ප්‍රතිකාර ලැබූ පසු දොස්තරවරු පැවසුවේ ඇගේ ඇඟිල්ල වෙන්වූ තැනින් ඉවත් කළ යුතු බවයි . දොස්තරලා සමග මහා සටනක් කර, මගේ පියා ඇයව සිය සහෝදරයා සිටි ( Male Nurse) කෑගල්ල මහ රෝහලට ගෙනගොස් ඇඟිල්ල මසා එන්නත් ලබාදී ඇඟිල්ල නොකපා බේරා ගත්තේය. අම්මා රෝහලේ සිටි කාලයේ හැකි අයුරින් මා සමග කාලය ගෙවීමට ඔහු උත්සාහ කළේය.
ඔහු අපට රසවින්දනය කියා දුන්නේ කුඩාකල සිටය. නිදාගැනීමට යන අතරතුරේදී ඇසීමට සලස්වන්නේ ඔහු විසින් පටිගත කරගන්නා ලද වේදිකා නාට්‍ය ගීත , පැරණි හින්දි ගීත වැනි දේය. ඒ නිසාම අපිත් ඒ රසට වහ වැටුණි. කෙසේ වෙතත් පරම්පරා ගැටුම සැම විටම පොදු ලක්ෂණයකි.
එනම් ඔහුගේ පියා ඔහු වික්ටර් රත්නායක මහතාගේ ගීත අහනවාට විරුද්ධ විය . ඔහුගේම වචන වලින් කියතොත්
මොකාද ඔය වික්ටර් ? යනුවෙන් විවේචනය කර ඇත. මගේ පරම්පරාවේ දී අප දෙන්නා
භාතිය - සන්තුෂ්ගේ ගීත අසනවිට ඔවුන්ව විවේචනය කළේය .
ගැහැණු දරුවන් ගේ දොර වැඩ නොදන්න්නවා නම් බැනුම් අහන්නේ දෙමවුපියන්ය . මේ ඔහු අප දෙදෙනාට කුස්සියේ වැඩ ඉගැන්වූ ආකාරයයි . ඔහු නිවාඩුවට නිවසට පැමිණි පසු රූපවාහිනිය නරඹන්නේ ඔහුත් මමත් නැගණියත්ය. දිනක් එලෙස රූපවාහිනී නරඹමින් සිටි අතරතුර ඔහු විසින් එය ක්‍රියා විරහිත කරන ලදී . අප දෙදෙනාම පුදුමසහගත ලෙස ඔහු දෙස බැලූ අතර සිනාමුසු මුහුණින් ඔහු පැවසුවේ
දැන් දෙන්නම කුස්සියට ගිහිල්ලා පැය භාගයක් අම්මාට උදවු කරලා එන්න. එතකන් ටිවී එක බලන්නේ මම විතරයි .
අප දෙදෙනා කුස්සියට ගියපසු මුලින් මුලින් අම්ම කිසිදු වැඩක් නොදුන් අතර ඔන්න ඔහේ ඉඳගෙන ඉඳලා යන්න කියපු අම්මා පසුව හෙමින් හෙමින් අපට උයන පිහන වැඩ ඉගැන්නුවාය . එහි ප්‍රතිපලයක් ලෙස මගේ නැගණියට කුඩා වයසේම දරලිප පත්තුකිරීමට හැකිකිවිය .
අප දෙදෙනාගේ අධ්‍යාපන සාර්ථකවයේදී ද නිරතුරුව සතුටු වූ ඔහු අප හැරදා යාම අපගේම අභාග්‍යයකි .................
මතු භවේදීත් ඔබ මගේ පියා වේවා .........................
විචාරක දියණිය 22. 50 පැයට
26 June 2017
මට අහිමි වූ මගේ පියා......................... ඔබට අහිමි විචාරකතුමා......................
කතාවක මුල මැද
අගක් තිබිය යුතුය.
ලිපිපෙළක ආරම්භය මෙලෙස ලිවීමට ආරම්භ කරමි.
ලිපිපෙළක ආරම්භය මෙලෙස ලිවීමට ආරම්භ කරමි.
“තාත්තා කළ
දේ පුතා නොකළොත් වූ නොට්ටිගේ පුතා” යයි
කියමනක් අප සමාජයේ අසා ඇත. එය හොඳට වඩා
නරක අදහසකින් කියුවක් යයි සිතේ. කෙසේ වෙතත්
මගේ පියාට
පුතාලා නොමැත. ඉන්නේදුවලා දෙදෙනෙකි. ඉතින් ඔහුගේ මෙහෙවර කොළුවෙක් වූ දුවෙකු කළ
යුතුව ඇත. ඔහුගේ නොනිත් ආසාව ලිවීමය. එමෙන්ම බ්ලොගය ඔහුගේ ජීවිතය විය. අසමි දකිමි සොයමි
ඉදිරියට පවත්වාගෙන යාම මාගේ ඒකායන අරමුණයි.
එමනිසා මම ඔබලාට විචාරක දියණිය වෙමි.
විචාරකතුමා
ඔබලාට ඔහුගැන හා අපේ පවුලේ කථාන්තරය ලිපි වලින් කියා ඇත. එමනිසා මම එය නැවත කියන්නට
අදහස් නොකරමි.
පියෙකු
වශයෙන් ඔහු මගේ ජීවිතයට පැමිණීම මට කෙතරම්
භාග්‍යක්දැයි කීමට අදහස් කරමි.ඔහු නික්ම ගොස් මාස දෙකකට ආසන්න කාලයක් ගතවුවද තවම
මට ඔහු මගේ ළඟ සිටිනවා යයි දැනෙයි. වසර 34 කට පසු මගේ ජීවිතයේ ලබපු අවාසනාවන්තම
අවුරුද්ද 2017 බව කිව යුතුමය. ඔහු යුධ බිමේ සිටියදීවත් මෙතරම් දුකක් හෝ පාළුවක්
තනිකමක් දැනී නොමැත.
මුලින්ම
පුහුණු ගුරුවරයෙකු ලෙසත් පසුව යුධ හමුදා නිලධාරියෙකු ලෙසත් සේවය කළ ඔහු මටත් මා නැගණියටත්
සෙනෙහෙබර පියෙකු විය.
ඔහු පුහුණුගුරුවරයෙකු
වූයේ විශේෂ අවශ්‍යතා ඇතිදරුවන් සඳහා වූ පාඨමාලාවය. එහිදී මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ
එම පාඨමාලාවේ හොදම ශිෂ්‍යයා වීමට ඔහුට හැකිවිය. ඊට අමතරව සිංහල , සමාජ අධ්‍යයනය හා
භූගෝලය ඔහුගේ විෂයන් විය. ඔහු සිංහල විෂය ඉගැන්නුවේ පොතෙන් නොව හිතින්ය . සාහිත්‍ය
ඉගැන්නුවේ ගීතයෙන් හා ඓතිහාසික කතා චිත්‍රපට වලිනි. ඉතින් ළමයින් පුස්තකාලපීරමින්
නවකතා හොයයි. ඔහුගේ ගුරු මණ්ඩලයේ අනෙක් ගුරුවරු ප්‍රශ්න අසයි.
ගුරුවරියක්:
කොහොමද,අනේ ඔය පරණ කතන්දර මතකතියාගන්නේ ? අපේ කෙල්ලගේ වැඩේ ගෙදර පරණ පොත් අවුස්සන එක, ඒ කියන පොත් ගෙනත්දෙන්නලු බලන්න.
විචාරකතුමා:
සිනාවෙයි..................... කිසිත් නොකියයි
වර්තමානයේ
සියලු දෙනාසතුව ජංගම දුරකථන පැවතියද 1980 දශකයේ එම තත්වය කෙබදුදැයි ඔබ දන්නවා ඇත. එවකට
හමුදා සේවයට ගොස් සිටි මගේ පියා අපහා තොරතුරු
බෙදා ගත්තේ ලිපි මගිනි. එහිදී අම්මාටවෙනම ලිපියකුත් අප දෙදෙනාට කුඩා ලිපි දෙකකුත්
එවනු ලබයි. එහිඅත්අකුරු පැහැදිලිව වෙනස්ය. ඔහුට අලංකාර ලෙස අකුරු ලිවිය හැකිය. ඔහු
වටකුරු අකුරින් හෙමින් ඉතා පැහැදිලිව අපට ලිපි එවන අතර , මවට වැල්
අකුරින් දිගු ලිපියක් එවයි .
එවකට හදිසි
පණිවිඩයක් හෝ ලබාගැනීමට අපසතුව ස්ථාවර දුරකතනයක් නොතිබුණු අතර,නිවස අසළ
වෙළඳසැලකටඔහු කතා කර පණිවිඩය ලබදුන් පසු වෙළඳසැලේ
සේවකයා පැමිණ අපට කියන්නේ මහත්තයා තව විනාඩි 5 කින් කතාකරනවා කිවුවා. නෝනාට ඇවිත්
ඉන්න කිවුවා. ඉතින් අපේ අම්මගේ අතේ එල්ලී මමත් යන්නේ ඔහුගේ කටහඬ අහන්නටය.
ඔහු
හැකියාවන් රාශියකින්
පිරි තැනැත්තෙකි. කෑගලු විද්‍යාලයේ ඡායාරූප සංගමයෙන් ඡායාරූපකරණයට අත්පොත් තැබූ ඔහු කුඩා කැමරාවකින් ඡායාරූපකරණය
ආරම්භකළේය. ඉන්පු එය විනෝදාංශයක් කරගත් ඔහු ජීවිතයේ සෑම සියලු දෙයක්ම ඡායාරූපගත
කළේය. එමනිසාමගේ හා නැගණියගේ උපන් දවසේ සිට අද දක්වා සියලු දේ ඡායාරූපගතකර ඇත. ඔහු
තම හමුදා ජීවිතයම ඡායාරූප ගතකර ඇත.
ළමයින් උකුලේ හා කකුලේ දමාගෙන නළවන්නේ අම්මාය . එහෙත්
මගේ පියා මා බාල කාලයේ කකුලේ දමා නිදිකරවා ඇත. ඔහු එසේ නිදිකරවන තුරු ඈනුම්
අරිමින් බලා සිටිනවා මට හොඳට මතකය.
ඔහු අප
දෙදෙනාගේ ම උපන්දින ඉහලින් සැමරුවේය. එවිට අම්මා කේක් සාදයි. ඔහු ඡායාරූපගනියි. ඔහුට කැමරාවක් නොතිබූ දිනවල
studio photographer කෙනෙකු
ලවා ඡායාරූප ගෙන ඇත.
මගේ ජීවිත
කාලයට මගේ පියා මට දඩුවම් කර ඇත්තේ එක් වරකි . එදවස මා 3 වන ශ්රේණියේසිටි අතර ,
ඔහු මසකට වරක් ගෙදර පැමිණෙන මුල් දිනයේ මට අවශ්‍ය ඔහුසමග ගෙදර සිටීම විනා පාසල් යාම නොවේ. මගේ මව
ගුරුවරියක වුවත් ඇය ද ඊට විරුද්ධ වූයේ
නැත. එහෙත්දිනක් ඒ අයුරින් මා පාසල් යාමට
අදිමද කලපසු මට ඉරටුවකින් පහර දී මාව පාසලට රැගන ගියේ ඔහුය. ඉන්පසු කවදාවත් මා
නිකරුනේ පාසල් නොගියේ නැත. එම ඉරටු පහර මට හොදට මතකය.
මගේ ජීවිතය
හා ඔහු ගසට පොත්ත හා පොත්තට ගස මෙන් බැඳී පවතී . ඔහු ගෙදරට පැමිණෙන්නේ මගේ නම කියාගෙනය.
එහෙත් අද ඔහු නිසොල්මන්ය.
තවත් බොහෝ
දේ ඉදිරි ලිපි වලදී බලාපොරොත්තුවන්න .
මෙම බ්ලොගය
ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මාව දිරිමත් කළ ගස්ලබ්බා මහතාටත් දේශකයා මහතාටත්
ස්තූතිවන්ත වෙමි .
විචාරකතුමාගේමළගෙදරට
පැමිණි ඔහුට ශෝකය ප්‍රකාශ කළ සියලු දෙනාට මාගේ මෙන්ම පවුලේ ස්තූතිය පිරිනමමි.
විචාරක
දියණිය
Subscribe to:
Posts
(
Atom
)